කොමිසමේ සභාපතිගෙන් පළමු ඡන්ද ප්‍රතිඵලය ගැන ඉඟියක් (වීඩියෝ)

Tuesday, 04 August 2020 - 20:16

%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%9F%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මෙරට 9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහමැතිවරණය හෙට පෙරවරු 7 ට ආරම්භ වනවා.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,985කදී ඡන්ද විමසීම පැවැත්වෙන අතර, එහිදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි හැටදෙලක්ෂ 63,885 ක්.

ඡන්දය ගණන් කිරීමේ කටයුතු ඡන්ද විමසීමට පසු දින එනම්, අගෝස්තු 6 වනදා උදෑසන 7 ට සහ 8 ට ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ආරම්භ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු සම්පාදනය කර තිබෙනවා.

ඒ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 77 කදීයි.

රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මෙවර මහමැතිවරණය පැවැත්වීම විශේෂත්වයක් වන අතර, ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණය කිරීමේ කටයුතු ඊයේ සහ අද සිදුකෙරුණා.

මේ අතර, මාතර මැතිවරණ කාර්යාලයේ සිට හිරු ප්‍රවෘත්ති අංශය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ මහමැතිවරණයේ පළමු නිළ ඡන්ද ප්‍රතිඵලය ලෙස මාතර දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල නිකුත් කළ හැකි වෙතැයි තමන් විශ්වාස කරන බවයි.

මේ අතර, හෙට පැවැත්වීමට නියමිත මහමැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා රුපියල් 5000 බැගින් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බේරුවල පොලීසිය පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන මොහොමඩ් රූමි ද ඒ අතර වන බවයි පොලීසිය පැවසුවේ.

ඔහු පසුගිය ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අධිචෝදනා ලැබූ 4 වන සැකකරුයි.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සමස්ත පැමිණිලි 376 ක් මේ වනවිට පොලීසිය වෙත වාර්තා වී තිබෙනවා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඇරඹි නිහඬ කාලය තුළ අපරාධ පැමිණිලි කිසිවක් වාර්තා වී නොමැති අතර, මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දිවයින පුරා පැමිණිලි 19 ක් පොලීසියට වාර්තා වී තිබෙනවා.

මේ අතර, මහමැතිවරණයේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් සමස්ත පොලිස් නිලධාරින් 82,091 දෙනෙකු යොදවා ඇති අතර, පොලිස් ජංගම මුර සංචාර අද පෙරවරුවේ සිට ආරම්භ කර තිබෙනවා.