පරාජය හමුවේ ප්‍රතිසංවිධානයට සූදානම් - එජාපයෙන් නිවේදනයක් (වීඩියෝ)

Friday, 07 August 2020 - 15:56

%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


එක්සත් ජාතික පක්ෂය, ප්‍රතිසංවිධානය හා ප්‍රතිව්‍යූහගත කර නව ජවයකින් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ පක්ෂය ලද පසුබෑම පිළිබඳව කරුණු දක්වන විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.

එහි සඳහන් වන්නේ එක්සත් ජාතික පක්ෂය රට වෙනුවෙන් බොහෝ දේ ඉටු කළ ද, ජනතාව තම පක්ෂය වෙත දැවැන්ත පරාජයක් අත්කර දී ඇති බවයි.

පක්ෂයක් ලෙස අභ්‍යන්තර මෙන්ම, බාහිරින් පැමිණි අභියෝගවලට ද මුහුණදුන් බව සඳහන් කරන එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා වැඩිදුරටත් පවසන්නේ ඔවුන්ගේ මෙන්ම අනෙක් අයගේ අසාර්ථකවීම් වල වගකීම ද භාර ගන්නා බවයි.

රටේ ආර්ථිකය කොරෝනා තත්ත්වය හේතුවෙන් ඇද වැටී ඇති පසුබිමක දේශීය ආර්ථිකය යළි පණගැන්වීමට එක්සත් ජාතික පක්ෂය වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනු ලැබුවා.

කෙසේ වෙතත්, මෙම මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ඒ සියල්ලට වඩා මහජනතාව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත අති විශාල ජනවරමක් ලබාදී ඇති බවයි එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මෙම අසීරු අවස්ථාවේ තවදුරටත් පක්ෂය සමග රැඳුණු පාක්ෂිකයන්ට ගෞරවණීය කෘතවේදීත්වය පිරිනමන බව ද ඔහු සිය නිවේදනය මගින් සඳහන් කර තිබෙනවා.

මේ අතර, මෙවර මහමැතිවරණයේදී ලැබූ දරුණු පසුබෑමෙන් පසු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී විශේෂ සාකච්ඡාවකට එක්වුණා.

එහිදී තීරණය කර ඇත්තේ එම පක්ෂයේ ඉදිරි ගමන් මග පිලිබඳව ලබන සඳුදා යළි සාකච්ඡා කිරීමටයි.