පරාජය වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් (වීඩියෝ)

Friday, 07 August 2020 - 20:00

%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප ප්‍රතිඵල නිකුත් කිරීමත් සමඟ පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් රැසකට සිය ධුර අහිමි වී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, උපනායක රවී කරුණානායක, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක නවීන් දිසානායක සහ භාණ්ඩාගාරික දයා ගමගේ යන හිටපු මන්ත්‍රීවරුන්ට මෙවර පාර්ලිමේන්තු අසුන් අහිමි වී තිබෙනවා.

සිය හතලිස් දෙවසරක පාර්ලිමේන්තු දිවිය තුල පස්වරක් අග්‍රාමාත්‍යධූරය හෙබවූ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු අසුන පරාජය වූ පළමු අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ලැයිස්තුවෙන් මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පරාජයට පත්වුණා.

සමගි ජන බලවේගයෙන් තරග කළ ඒ.එච්. එම්. ෆවුසි, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ සුජීව සේනසිංහ යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙවර පරාජයට පත්ව තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ දුලිප් විජේසේකරටත් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වූ රුවන් විජේවර්ධනට සහ අර්ජුන රණතුංගටත් මන්ත්‍රීධූරය අහිමිවුණා.

අජිත් මාන්නප්පෙරුම, විජිත් විජයමුණි සොයිසා, චතුර සේනාරත්න සහ එඩ්වඩ් ගුණසේකර සමගි ජන බලවේගයෙන් තරග කර සිය ආසන අහිමිවූවන් වනවා.

කළුතර දිස්ත්‍රික්කයට සමගි ජන බලවේගය යටතේ තරග කළ අජිත් පී. පෙරේරා එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කළ පාලිත තෙවරප්පෙරුම සහ ලක්ෂ්මන් විජේමාන්න මෙන්ම ජාතික ජන බලවේගය යටතේ තරග කළ නලින්ද ජයතිස්සට ද ආසන අහිමි වුණා.

ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරුන්වන එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන, සමගි ජන බලවේගයේ විජේපාල හෙට්ටිආරච්චි, බන්දුලාල් බන්ඩාරිගොඩ සහ ගීතා කුමාරසිංහ වෙනුවට පාර්ලිමේන්තුවට පිවිසුණු පියසේන ගමගේට මන්ත්‍රීධුර අහිමි වී තිබෙනවා.

මාතර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ යටතේ තරග කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ නිරෝෂන් ප්‍රේමරත්න, හිටපු ජාතික ලැයිස්තු මන්ත්‍රී මනෝජ් සිරිසේන හා ජාතික ජන බලවේගයෙන් තරග කළ සුනිල් හඳුන්නෙත්තිටද මන්ත්‍රීධූර අහිමි වුණා.

හම්බන්තොට දිස්ත්‍රික්කයට ජාතික ජන බලවේගය යටතේ තරග කළ නිහාල් ගලප්පත්තිට ද මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහිමි වුණා.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කළ  පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ තාරානාත් බස්නායක, ටී.බී. ඒකනායක සහ සමගි ජන බලවේගය යටතේ තරග කළ ඉන්දික බණ්ඩාරනායක පරාජයට පත්ව තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කළ පාලිත රංගේ බණ්ඩාර සහ සමගි ජන බලවේගයෙන් තරග කළ ශාන්ත අබේසේකර සහ පොදුජන පෙරමුණේ අශෝක ප්‍රියන්ත හිටපු මන්ත්‍රීවරයාත් මෙවර මැතිවරණයේදී පරාජයට පත්වුණා.

අනුරාධපුර දිස්ත්‍රික්කයට සමගි ජන බලවේගය යටතේ තරග කළ චන්ද්‍රාණි බණ්ඩාර, පී. හැරිසන්, චන්දිම ගමගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක සහ එස්.ඒ. මුතුකුමාරණට මන්ත්‍රීධුරය අහිමි වී තිබෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රිවරුන්වන සමගි ජන බලවේගය යටතේ තරග කළ සිඩ්නි ජයරත්නට සහ එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කළ නාලක කොළොන්නත් මෙවර පාර්ලිමේන්තු වරම් හිමිකර ගත්තේ නැහැ.

බදුල්ල දිස්ත්‍රික්කයට සමගි ජන බලවේගය යටතේ තරග කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ලක්ෂ්මන් සෙනෙවිරත්නට හා රවී සමරවීරට සිය මන්ත්‍රීධුර අහිමි වුණා.

මොනරාගල දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ පද්ම උදයශාන්ත, සුමේධා ජීග ජයසේන මෙන්ම සමගි ජන බලවේගය යටතේ තරග කළ හිටපු කථානායක ආනන්ද කුමාරසිරිටත් මන්ත්‍රීධුර අහිමි වී තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ ආනන්ද අලුත්ගමගේ හා සමගි ජන බලවේගය යටතේ තරග කළ ලකී ජයවර්ධනද මෙවර පරාජයට පත්වුණා.

නුවරඑළිය දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කළ නවීන් දිසානායක, කේ.කේ. පියදාස මෙන්ම සමගි ජන බලවේගය යටතේ තරග කළ මයිල්වාගනම් තිලකරාජ්ට මන්ත්‍රීධුර අහිමි වුණා.

මාතලේ දිස්ත්‍රික්කයට සමගි ජන බලවේගය යටතේ තරග කළ වසන්ත අළුවිහාරේ සහ රංජිත් අළුවිහාරේ මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ ලක්ෂ්මන් වසන්ත පෙරේරා සිය මන්ත්‍රී ධුරයන් රැක ගැනීමට අසමත් වුණා.

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කළ සංදිත් සමරසිංහ සහ සමගි ජන බලවේගය යටතේ තරග කළ තුසිතා විජේමාන්නට මන්ත්‍රීධුර අහිමි වී තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ දුනේෂ් ගන්කන්ද, සමගි ජන බලවේගය යටතේ තරග කළ කරුණාරත්න පරණවිතාන සහ ඒ. ඒ. විජේතුංගට මෙවර මන්ත්‍රීධුර අහිමි වුණා.
 
මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන එස්.යෝගේෂ්වරන්, ඥාණමුත්තු සිවනේෂ්වරන්, මුස්ලිම් කොංග්‍රසයේ අලි සහීර් මවුලානා, සමගි ජන බලවේගයේ අමීර් අලී පරාජයට පත්ව තිබෙනවා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට පොදුජන පෙරමුණ යටතේ තරග කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත පුංචි නිලමේට සහ සමගි ජන බලවේගය යටතේ සමගි කළ අබ්දුල් මහරුෆ්ටත් මන්ත්‍රීධුර අහිමි වී තිබුණා.
 
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයට තරගකළ අනෝමා ගමගේ පරාජයට පත් වූ අතර එම දිස්ත්‍රික්කයෙන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට ඉදිරිපත් වූ කවීන්ද්‍රන් කෝඩීස්වරන්ටද මන්ත්‍රීධූරය රැකගැනීමට හැකිවුණේ නැහැ.

මෙවර පරාජයට පත් වූ ශ්‍රියාණි විජේවික්‍රම මැතිවරණයට ඉදිරිපත් වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්.

යාපනය දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරුන් වන තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, ඊ. සරවනභවන් මෙන්ම එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කළ හිටපු මන්ත්‍රිනි විජේකලා මහේෂ්වරන්ට මන්ත්‍රීවරුන්ට මෙවර සිය ධුරයන් අහිමි වුණා.