23 ක් සුවය ලබයි

Saturday, 08 August 2020 - 7:51

23+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
තවත් කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු ඊයේ පූර්ණ සුවය ලබා පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2564 දක්වා ඉහළ ගියා.

මෙරටින් කොරෝනා රෝගීන් 2839 වාර්තා වන අතර, වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ඒ අනුව තවදුරටත් රෝහල්ගතව 264 ක් ප්‍රතිකාර ලබන බවයි.

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට එක්කෝටි 95 ලක්ෂය ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව හත්ලක්ෂ 23,000 කට ආසන්නයි.

එමෙන්ම ඇමරිකාවේ කොවිඞ් 19 මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 64,000 ඉක්මවා ඇත්තේ ට්‍රම්ප් පරිපාලනය විසින් එරට පාසල් විවෘත කිරීමට බලකරද්දියි.

ඇමරිකාවේ කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට පනස් ලක්ෂය ඉක්මවා තිබෙනවා.

මේ අතර ලතින් ඇමරිකාවේ කොවිඞ් 19 මරණ සංඛ්‍යාව දෙලක්ෂ 13,120 දක්වා ඊයේ ඉහළ ගියේ කොරෝනා වෛරසයෙන් ලොව වැඩිම පීඩාවට ලක්වූ කලාපය බවට පත්වෙමින්.

එය යුරෝපයේ කොරෝනා මරණ සංඛ්‍යාවට වඩා 460 කින් ඉහළ අගයක් බවයි ප්‍රංශ පුවත් සේවය සඳහන් කළේ.

එමෙන්ම ඉන්දියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව ද මේ වනවිට විසි ලක්ෂය ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාවද 42,500 කට අධිකයි.