තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවෙයි

Saturday, 08 August 2020 - 19:28

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2841 දක්වා ඉහළගොස් තිබෙනවා.

ඔවුන් සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි දෙදෙනෙකු බවයි වාර්තාවන්නේ.

තවත් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2576 දක්වා ඉහළ ගියා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ 252 දෙනෙකු පමණක් තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ විදේශයන්හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම අද සිට යළි ආරම්භ කළා.

ඒ අනුව, ඉන්දියාවේ විශාඛාපට්නම් සිට මගීන් 168 ක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ යානයක් අද දහවල් 2.05 ට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණි බවයි ගුවන්තොටුපල ප්‍රධාන කළමනාකරු සඳහන් කළේ.

මේ අතර, පස්වරුවේ ද මගීන් 168 ක් රැගත් ගුවන් යානයක් මාලදිවයිනේ සිට පැමිණ තිබෙනවා.

අදාළ සියලු ගුවන් මගීන් පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු නිරෝධායනය සඳහා යොමුකළ බවයි ගුවන්තොටුපල ප්‍රධාන කළමනාකරු ප්‍රකාශ කළේ.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මුම්බායි නුවර නැණවතී රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සිනමා නළු අභිෂේක් බච්චන් දැන් පූර්ණ සුවය ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

ඒ, ඔහුට සිදුකළ නවතම කොවිඩ්-19 පරීක්ෂාවේදී ඍණ ප්‍රතිඵලයක් පෙන්නුම් කිරීමත් සමඟයි.

අභිෂේක් බච්චන් මෙන්ම ඔහුගේ පියා වන අමිතාබ් බච්චන්, බිරිඳ ඓශ්වර්යා රායි බච්චන් සහ දියණිය ආරධ්‍යාටද කොරෝනා ආසාදනය වූ අතර, ඔවුන් මේ වනවිට සුවය ලබා රෝහලෙන් නික්මී ගොස් අවසන්.

මේ අතර, ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට විසි ලක්ෂය ඉක්මවා ඇති අතර, පසුගිය දින 04 තුළම ඇමරිකාව සහ බ්‍රසීලයට වඩා නව ආසාදිතයන් ඉන්දියාවෙන් වාර්තා වුණා.

එරට කොරෝනා මරණ සංඛ්‍යාවද 42,000 ඉක්මවා තිබෙනවා.

ලොවපුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 19,572,266 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 724,687 ක් ලෙසයි.