රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙයි (වීඩියෝ)

Monday, 10 August 2020 - 14:14

%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


වසර 26ක් පුරා එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ එම තනතුරෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් සමග සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.  

1946 වසරේදී පිහිටුවන ලද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට රනිල් වික්‍රමසිංහ පත්වන්නේ 1994 වසරේ නොවැම්බර් 12 වනදායි.

කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස තේරී පත්වීමෙන් පසු මේ දක්වා එම පක්ෂය ආණ්ඩු බලය ලබා ගත්තේ අවස්ථා දෙකකදී පමණයි.

රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වීමෙන් පසු 1994 වර්ෂයේ පැවති මහමැතිවරණයෙන් පරාජයට පත්වුණා.

පසුව, 2000 වසරේ පැවති මහමැතිවරණයෙන් ද පරාජය හිමිවූ එක්සත් ජාතික පක්ෂය 2001 වසරේ පැවති මහමැතිවරණයේදී බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටවනු ලැබුවා.

වසර දෙකක් වැනි කෙටි කාලයක් තුලදී යළි එජාපයට ආණ්ඩුව අහිමිවූ අතර, 2004 වසරේ පැවති මහමැතිවරණයෙන් ද ඔවුන් පරාජයට පත් වුණා.

2005 - 2010 හා 2020 ජනාධිපතිවරණ මෙන්ම, 2010 - 2020 මහ මැතිවරණ ද පරාජයට පත් වූයේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටියදීයි.

එමෙන්ම, 2004 සිට 2014 දක්වා කාලසීමාව තුල පැවති සියලුම පළාත් සභා හා පළාත් පාලන ආයතන මැතිවරණ ද එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, 2015 වසරේ පැවති මහමැතිවරණය සහ ජනාධිපතිවරණය ජයගත් එක්සත් ජාතික පක්ෂය වසර හතරහමාරක් ආණ්ඩු බලය පවත්වාගෙන ගියේ සුළු පක්ෂවල ද සහයෙන්.

එවන් පසුබිමක් තුල පසුගිය බදාදා පැවති මහමැතිවරණයෙන්ද අන්ත පරාජයකට පත්වීමත් සමග එක්සත් ජාතික පක්ෂ නායකත්වයට විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වූයේ දැඩි  විරෝධයක්.  

කෙසේ වෙතත්, සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති විශේෂ හමුවකින් අනතුරුව පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමටයි රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත්තේ.

එමගින් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට 4 දෙනෙකුගේ නම් යෝජනා වී තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, දයා ගමගේ, වජිර අබේවර්ධන සහ අකිල විරාජ් කාරියවසම් එලෙස නායකත්වය සඳහා යෝජනා වූ අයයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට තමන් සුදුසු බව මීට පෙර ප්‍රකාශ කළ එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක අද කියා සිටියේ තමන් නායකත්වය සඳහා ඉදිරිපත් නොවන බවයි.