අද දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලයේ අලුත් මුහුණු තුනක් - නවකයින් 13 කට රාජ්‍ය අමාත්‍ය ධුර (වීඩියෝ)

Wednesday, 12 August 2020 - 20:03

%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B1%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+13+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29



 
 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ නව රජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ පිහිටි ඵෙතිහාසික මගුල් මඩුවේදී සිදුකෙරුණා.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ජාතික වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගිකව සහ යථාර්තවාදීව අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය සැලසුම් කර තිබෙනවා.

අමාත්‍යාංශ ව්‍යුහය සැකසීමේදී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයාද ඇතුළුව කැබිනට් මණ්ඩලය 25 දෙනෙකුගෙන් සමන්විතයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතර, මුදල් -  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, - නාගරික සංවර්ධන හා නිවාස යන අමාත්‍යාංශ තුනෙහි කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයි.

විදේශ අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන දිවුරුම් දුන් අතර, රාජ්‍ය සේවා පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍ය ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් දිවුරුම් දුන්නා.

නව රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස්. පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන් අතර කම්කරු අමාත්‍යවරයා වන්නේ නිමල් සිරිපාල ද සිල්වායි.

 සී.බී.රත්නායක වනජිවි හා වන සංරක්ෂණ අමාත්‍යවරයා ලෙසත් චමල් රාජපක්ෂ වාර්මාර්ග අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නා. ධීවර අමාත්‍යවරයා වන්නේ ඩග්ලස් දේවානන්දායි.

ඩලස් අලහප්පෙරුම විදුලිබල අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් අතර මහින්ද අමරවීර පරිසර අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

මහාමාර්ග අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දුයි.

ගාමිණී ලොකුගේ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙසත්, බන්දුල ගුණවර්ධන වෙළඳ අමාත්‍යවරයා ලෙසත්, විමල් වීරවංශ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, නව ජනමාධ්‍ය අමාත්‍යවරයා වන්නේ කෙහෙළිය රඹුක්වැල්ල යි.

එස්.එම්.චන්ද්‍රසේන ඉඩම් අමාත්‍ය ධුරයේත්, මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම අමාත්‍ය ධුරයේත් දිවුරුම් දුන් අතර, රමේෂ් පතිරණ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

වාසුදේව නානායක්කාර ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස සහ උදය ගම්මන්පිල බලශක්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, රෝහිත අබේගුණවර්ධන පත් කර ඇත්තේ වරාය හා නාවික අමාත්‍යවරයා ලෙසයි. ප්‍රසන්න රණතුංග සංචාරක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

නව අධිකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතිඥ අලි සබ්රි දිවුරුම් දුන් අතර, තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ නාමල් රාජපක්ෂයි.

රාජ්‍ය අමාත්‍යවරුන් ගණන 39 දෙනෙකුද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද දිවුරුම් දුන්නා.

රාජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනෙකු ද අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් අතර, පසුගියදා නිකුත් කළ ගැසට් පත්‍රයෙහි අඩංගුව තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයෙහි කිසිවෙකු දිවුරුම් දෙනු ලැබුවේ නැහැ.

ඒ අනුව, අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ චමල් රාජපක්ෂ යි.

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය ලෙස පියංකර ජයරත්න දිවුරුම් දුන් අතර, සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලෙස දුමින්ද දිසානායක දිවුරුම් දුන්නා.

දයාසිරි ජයසේකර බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර ලසන්ත අලගියවන්න දිවුරුම් දුන්නේ සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ දිවුරුම් දෙනු ලැබුවා.

පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ අරුන්දික ප්‍රනාන්දු යි.

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ලෙස නිමල් ලාන්සා දිවුරුම් දුන් අතර, ජයන්ත සමරවීර  ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ රොෂාන් රණසිංහයි.

සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත භෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණ හා තේ අපනයනය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කනක හේරත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ විදුර වික්‍රමනායක යි.

ජානක වක්කුඹුර උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධන, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, විජිත බේරුගොඩ දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලෙස ෂෙහාන් සේමසිංහ පත් කර ඇති අතර, පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ මොහාන් ද සිල්වා යි.

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ දිවුරුම් දුන්නා.

වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ දිලුම් අමුණුගම යි.

වනජිවි රැකවරණ, අලිවැට හා අගල් ඉදිකිරීම් ඇතුළු ආරක්ෂිත වැඩපිලිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස විමලවීර දිසානායක දිවුරුම් දුන් අතර, කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස තාරක බාලසූරිය දිවුරුම් දුන්නා.

ඉන්දික අනුරුද්ධ දිවුරුම් දුන්නේ ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර දිවුරුම් දුන්නා.

ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ සනත් නිශාන්ත වන අතර, මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිරිපාල ගම්ලත් දිවුරුම් දෙනු ලැබුවා.

පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ සරත් වීරසේකර යි.

අනුරාධ ජයරත්න, ග්‍රාමීය, කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේ එස්. වියාලේන්ද්‍රන්.

ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස තේනුක විදානගමගේ දිවුරුම් දුන් අතර, සිසිර ජයකොඩි දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා.

කාන්තා හා ලමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික, අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ පියල් නිශාන්ත යි.

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ලෙස ප්‍රසන්න රණවීර දිවුරුම් දුන්නා.

ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ඩී.වී.චානක යි.

ඩී.බී. හේරත් පශු සම්පත් ගොවිපොල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ශෂේන්ද්‍ර රාජපක්ෂ යි.

නාලක ගොඩහේවා නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ හා අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ජීවන් තොණ්ඩමන්.

මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් දිවුරුම් දුන් අතර සීතා අරඹේපොල දිවුරුම් දෙනු ලැබුවේ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යවරිය ලෙසයි.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මහාචාර්ය චන්න ජයසුමන දිවුරුම් දුන්නා.

එසේම දිස්ත්‍රික් කමිටු සභාපතිවරුන් වෙත පත්වීම් ප්‍රදානයද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

අද දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලයේ ජාතික ලැයිස්තුවෙන් මෙවර පළමු වරට පාර්ලිමේන්තු වරම් ලැබූ ජනාධිපති නීතිඥ අලි සබ්‍රිට අධිකරණ අමාත්‍ය ධුරය හිමිව ඇති අතර, පාර්ලිමේන්තු වරම් හිමිවූ පළමු අවස්ථාවේදීම ඔහුට කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිවීම  විශේෂත්වයක්.

මෙවර ප්‍රථම වරට කැබිනට් අමාත්‍ය ධූර හිමි වූ දෙදෙනෙකුද සිටින අතර, ඒ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ධූරය හිමි වූ නාමල් රාජපක්ෂ සහ වරාය හා නාවික කටයුතු අමාත්‍ය ධූරය හිමි වූ රෝහිත අබේගුණවර්ධනයි.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය ධූර හිමි වූ 06 දෙනෙකු මෙවර ප්‍රථම වරට පාර්ලිමේන්තු වරම් හිමිකරගත් අයයි.

ඒ අතර, ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ මෙන්ම සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ ආචාර්ය නාලක ගොඩහේවා, ආරුමුගම් තොණ්ඩමන්ගේ පුත් ජීවන් තොණ්ඩමන්, හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වූ අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය චන්න ජයසුමන හා ජාතික ලැයිස්තුවෙන් නම් කළ විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල වනවා.

මීට අමතරව මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ තවත් 07 දෙනෙකුටද මෙවර ප්‍රථම වරට රාජ්‍ය ඇමති ධූර හිමිවුණා.

ඒ, සදාසිවම් වියාලේන්ද්‍රන්, තේනුක විදානගමගේ, සිසිර ජයකොඩි, පියල් නිශාන්ත ද සිල්වා, ප්‍රසන්න රණවීර, ඩී.වී.චානක සහ ඩී.බී.හේරත්ටයි.

මේ අතර, මීට පෙර කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය ධූර හෙබ වූ ප්‍රබල දේශපාලනඥයින් කිහිප දෙනෙකුටම මෙවර තනතුරු අහිමි වී තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කිසිදු අමාත්‍ය ධුරයක් හිමි නොවීම විශේෂත්වයක්.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඇමති ධුරයක් ලබාගැනීම සම්බන්ධයෙන් ඔහු කැමැත්තක් පළ කර නොමැති බවයි.

පැවති රජයේ වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබ වූ මහින්ද යාපා අබේවර්ධනටද මෙවර කිසිදු අමාත්‍ය ධූරයක් හිමිවී නැහැ.

මීට අමතරව හිටපු අමාත්‍යවරුන් වූ ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, එස්.බී.දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, විජේදාස රාජපක්ෂ, රංජිත් සියඹලාපිටිය, මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා, සුසිල් ප්‍රේමජයන්ත් සහ චන්දිම වීරක්කොඩිටද කිසිදු අමාත්‍ය හෝ රාජ්‍ය අමාත්‍ය ධූරයක් හිමිව නැහැ.