කොරෝනා අවදානම නිසා වසා දැමුණු ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය සභාව අද සිට විවෘතයි

Friday, 14 August 2020 - 7:54

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ වසා දැමුණු ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ එම ප්‍රාදේශීය සභාව අද සිට යළි විවෘත කිරීමට නියමිතයි.

ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ නිරෝධායන කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව අදාළ කාර්ය මණ්ඩල අද දිනයේ යළි සේවයට වාර්තා කරන බවයි.

පසුගිය ජුලි 30 වැනිදා සහ අගෝස්තු 03 වැනිදා ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහයකයෙකුට සහ එහි ආරක්ෂාවට යොදවා සිටි සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයෙකුට කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනුණා.

ඒ අනුව සෞඛ්‍ය අංශ මැදිහත් වී වහාම ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ එම ප්‍රාදේශීය සභාව වසා දැමීමටයි පියවර ගැනුණේ.

එමෙන්ම, අදාළ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 891 දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකළ අතර, මේ වනවිට පවුල් 30 කට අයත් 130 දෙනෙකු පමණක් තවදුරටත් නිරෝධායනයට ලක් වෙමින් සිටින බව ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළා.

එම පිරිසද හෙට දිනයේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමට නියමිතයි.

එමෙන්ම, ඊයේ දිනයේ මෙරටින් තවත් එක් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වූ අතර, එම පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දිවයිනට පැමිණි අයෙක්.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,882 දක්වා ඉහළ ගියා. රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 225 ක්.

මේ අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවල සේවා ලබා ගැනීම මාසයක කාලයකට අත්හිටුවීමට චීන සිවිල් ගුවන් සේවා බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ, ඩුබායි සිට කොළඹ හරහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් චීනයට පැමිණි මගීන් 24 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වීමත් සමඟයි.

යූ.එල්.866 දරන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයේ ගමන්ගත් චීන ජාතිකයන් පිරිසකුයි මෙලෙස කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ.

චීනයේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රතිපත්තිවලට අනුව යම් ගුවන් යානයක කොරෝනා ආසාදිතයන් පස් දෙනෙකු හමුවුවහොත් එම ගුවන් සේවය සඳහා සතියක ගුවන් ගමන් තහනමක් පැනවෙන අතර, ආසාදිතයන් දස දෙනෙකු හමුවුවහොත් මාසයක කාලයකට ගුවන් ගමන් අත්හිටුවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඒ අනුව එතිහාඞ් ගුවන් සේවයට සහ චයිනා ඊස්ටර්න් ගුවන් සේවයටද මෙවැනිම ගුවන් ගමන් අත්හිටුවීමක් සිදුකර තිබෙනවා.

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට දෙකෝටි දස ලක්ෂ 69,000 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව හත්ලක්ෂ 52,726ක්.

ඒ අතරින් ඇමරිකාවේ ආසාදිතයන් 54 ලක්ෂ 14,000ක් සහ මරණ එක්ලක්ෂ 70,000ක් වාර්තා වන අතර, බ්‍රසීලයෙන් ආසාදිතයන් තිස් දෙලක්ෂ 29,000ක් සහ මරණ එක්ලක්ෂ 5564ක් වාර්තා වුණා.

ඉන්දියාවේ ආසාදිත සංඛ්‍යාව 24 ලක්ෂ 59,613ක් වන අතර මරණ සංඛ්‍යාව 48,144ක්.