නායකත්වය ගැන අවසන් තීන්දුව ගැනීමේ එජාප, කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව ඇරඹේ (වීඩියෝ)

Friday, 14 August 2020 - 11:50

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%2C+%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද උදෑසන රැස්වුණා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එම සාකච්ඡාව මේ වනවිට පැවැත්වෙන බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ.

එහිදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පළමුව සාකච්ඡාවට ගැනෙන බව සඳහන්.

අනතුරුවයි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත්තේ.

පක්ෂ නායකත්වය සඳහා මේ වනවිටත් නම් 08 ක් යෝජනා වී තිබෙනවා.

පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, උපනායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, පක්ෂ භාණ්ඩාගාරික දයා ගමගේ, නියෝජ්‍ය මහලේකම් රුවන් විජේවර්ධන, වජිර අබේවර්ධන, අර්ජුන රණතුංග සහ පාලිත රංගේ බණ්ඩාර මෙලෙස යෝජනා වී ඇති නම් අතර වනවා.

එමෙන්ම, පක්ෂය ඉල්ලීමක් කරන්නේ නම් නායකත්වය භාර ගැනීම සඳහා තමන් සූදානම් බව හිටපු කථානායක කරු ජයසූරිය ඊයේ කැමැත්ත පළ කළ බවයි ඔහුගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඊයේ දිනයේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන ද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ දේශපාලන පක්ෂයක් ලෙස යළි ශක්තිමත්ව නැගී සිටීම සඳහා පුළුල් ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලක් අත්‍යාවශ්‍ය වී ඇති බවයි.

නව නායකයෙකු යටතේ අදාළ ප්‍රතිසංවිධාන සහ ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය සිදුකිරීමට මේ වන විටත් පක්ෂයේ සියළු දෙනාම පොදු එකඟතාවකට පැමිණ ඇති බවයි ඔහු අදාළ නිවේදනයෙන් පෙන්වා දුන්නේ.

මේ අතර, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හිමි වූ දේශපාලන පක්ෂවලට එම මන්ත්‍රී ධුර සඳහා නම් යෝජනා කිරීමට ලබාදී තිබූ කාලය අදින් අවසන් වීමට නියමිතයි.

මෙවර මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිදු දිස්ත්‍රික්කයකින් පාර්ලිමේන්තු අසුනක් දිනා ගැනීමට හැකි නොවූ අතර, සමස්ත ඡන්ද දෙලක්ෂ 49,435ක් හිමි කර ගත් බැවින් එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පමණක් හිමි වුණා.

අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මන්ත්‍රීවරයෙකු නම් කිරීම සම්බන්ධයෙන් පක්ෂ නියෝජිතයන් අතර සාකච්ඡාවට කිහිපයක් පැවැත්වුණ ද ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට ඔවුන්ට හැකි වුණේ නැහැ.

ඊයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර කියා සිටියේ අද දිනයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නමක් යෝජනා කිරීමට අපොහොසත් වුණහොත් මැතිවරණ කොමිසම වෙත මීට පෙර භාර දී ඇති ජාතික ලැයිස්තුවෙහි ඇතුළත් පළමු නම අදාල මන්ත්‍රී ධුරය සඳහා නම් කිරීමට හැකියාව ඇති බවයි.