නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

Friday, 14 August 2020 - 13:16

%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD
ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායන කටයුතු අවසන් කර පුද්ගලයින් 30,184 දෙනෙකු මේ වනවිට නිවෙස් වෙත පිටව ගොස් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

අද වනවිට නිරෝධායන මධ්‍යස්ථාන 43 ක නිරෝධායනය වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 4461 ක්.

මේ වනවිට මෙරට තුළ පී.සී.ආර්. පරීක්ෂණ එක්ලක්ෂ 82,681 ක් සිදුකර තිබෙනවා. කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 629 දෙනාගෙන් 468 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,882 දෙනෙකු වාර්තා වන අතර, ඉන් සම්පූර්ණයෙන්ම සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,658ක්.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 213 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර, කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ සීමා කර තිබූ විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල එක් කාමරයක රැඳී සිටිය හැකි සිසුන් සංඛ්‍යාව ඉහළ නැංවීම කෙරෙහි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා.

එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ ඒ අනුව නේවාසිකාගාරවල එක් කාමරයක සිසුන් දෙදෙනෙකුටද රැඳී සිටීමට අවස්ථාව ලබාදෙනු ඇති බවයි.

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ කොවිඩ්-19 නව ආසාදිතයන් 64,553ක් ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව විසි හතර ලක්ෂ 61,000 දක්වා ඉහළ යන බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව පසුගිය දින 10 තුළම ලොව දිනක වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙන්.

එමෙන්ම, ගත වූ පැය 24 තුළ කොරෝනා මරණ 1007ක් වාර්තා වීමත් සමඟ එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 48,000 ඉක්ම වනවා.

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 17 ලක්ෂ 51,555ක් සුවය ලබා ඇති අතර, සුවය ලැබීමේ ප්‍රතිශතය සියයට 70 ඉක්ම වන බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියා.

ඉන්දියාවේ වැඩිම කොරෝනා ආසාදිතයන් නැවතත් වාර්තා වී ඇත්තේ මුම්බායි කේන්ද්‍ර කොටගත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන්. එහි ඊයේ දිනය තුල පමණක් නව ආසාදිතයන් 11,813 ක් වාර්තා වී ඇති අතර, ඒ අනුව මුළු ආසාදිත සංඛ්‍යාව 560,000 ඉක්මවනවා.

තමිල්නාඩු ප්‍රාන්තයෙන්ද ඊයේ නව ආසාදිතයන් 5,835 ක් සමඟ ආසාදිත සංඛ්‍යාව 320,000 ඉක්ම වූ අතර, ඊයේ වාර්තා වූ මරණ 119 ක් සමඟ ප්‍රාන්තයේ කොරෝනා මරණ 5,397 දක්වා ඉහළ යනවා.

ඊට අමතරව කර්නාටක, ආන්ද්‍ර ප්‍රදේශ් සහ තෙලංගානා ප්‍රාන්තවලින් වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 21068,933 ක් ලෙස සටහන් වන අතර, මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 757,446 ක් ලෙසයි.