එජාප අපේක්ෂකයින්ට සිරිකොතින් කැඳවීමක්

Saturday, 15 August 2020 - 7:22

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් සියලුදෙනාම අද (15) දිනයේදී කොළඹට කැඳවා තිබෙනවා.

එම පක්ෂයට සම්බන්ධ සමීප ආරංචි මාර්ග සඳහන් කළේ අද (15) උදෑසන 10.30ට ඔවුන් සියලුදෙනාම සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත කැඳවා ඇති බවයි.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර, එහිදී පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

මේ අතර, නව නායකත්වය තෝරා පත් කර ගැනීම සඳහා තවත් මාස 06ක කාලයක් ලබා ගැනීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඊයේ (14) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය පක්ෂ නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් පැය දෙකකට අධික කාලයක් සාකච්ඡා කළ බවයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

පසුගිය අගෝස්තු පස් වනදා පැවති මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය දරුණු පරාජයකට ලක්වූ අතර, අනතුරුව, වසර 26 ක කාලයක් පක්ෂයේ නායකත්වය දැරූ රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළා.

ඒ අනුව, නව පක්ෂ නායකත්වය සඳහා නම් 08ක් යෝජනා කෙරුණා.

පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, උපනායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, පක්ෂ භාණ්ඩාගාරික දයා ගමගේ, නියෝජ්‍ය මහලේකම් රුවන් විජේවර්ධන, වජිර අබේවර්ධන, අර්ජුන රණතුංග සහ පාලිත රංගේ බණ්ඩාර මෙලෙස යෝජනා වී ඇති නම් වනවා.

එමෙන්ම, පක්ෂය ඉල්ලීමක් කරන්නේ නම් නායකත්වය භාර ගැනීම සඳහා තමන් සූදානම් බව හිටපු කථානායක කරු ජයසූරිය ඊයේ (14) කැමැත්ත පළ කළා.

කෙසේ වෙතත්, කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ තරුණ දේශපාලනඥයෙකු ඉදිරි නායකත්වය සඳහා පත් කළ යුතු බවටයි.

ඒ අනුව, මේ වනවිට පක්ෂයේ නායකත්වය සඳහා යෝජනා කර ඇති අයට වගකීම් බෙදා දෙමින් ඔවුන්ගේ හැකියාව මත ඉදිරි නායකත්වය තෝරා ගැනීමට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ එකඟත්වය පළ වී තිබෙනවා.

ඒ සඳහා මාස 06 ක කාලයක් ඔවුන්ට ලබාදෙන අතර, රනිල් වික්‍රමසිංහ අදාල මාස 06 තුළ තවදුරටත් පක්ෂ නායකත්වයේ කටයුතු කරනු ඇති.