දෝනි සහ රයිනා ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

Saturday, 15 August 2020 - 20:16

%E0%B6%AF%E0%B7%9D%E0%B6%B1%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ඉන්දියාවෙන් මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම සාර්ථකම නායකයා ලෙස සැළකිය හැකි මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළා.

39 හැවිරිදි දෝණි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමේ සිය තීරණය ප්‍රකාශයට පත් කළේ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින්.

එහි සඳහන් වූයේ මෙතෙක් තමා වෙත දැක්වූ සහය සහ ආදරය වෙනුවෙන් තුති පුද කරන අතර, ඉන්දීය වේලාවෙන් රාත්‍රි 7.29 සිට තමා විශ්‍රාම ගියේ යැයි සළකන ලෙසයි.

ඔහුගේ නායකත්වය යටතේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් මෙන්ම 20 යි 20 තරගාවලියක් ද ජයගෙන තිබෙනවා.

2007 වසරේදී මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් ඉන්දියාව 20යි 20 ලෝක කුසලානය ජයගත් අතර 2011 වසරේ දී පන්දුවාර 50 ලෝක කුසලානය ජයගත්තා.

එමෙන්ම 2013 වසරේදී ශූරයන්ගේ ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය ද ලබාගත්තේ ඔහුගේ නායකත්වයෙන්.

ඉන්දීය හිටපු නායකයා අවසන් වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක ක්‍රීඩා කරනු ලැබුවේ 2019 ලෝක කුසලානයේදීයි.

මහේන්ද්‍ර සිං දෝනි 2014 වසරේ දෙසැම්බර් මාසයේදී ටෙස්ට් පිටියට සමුදුන්නා.

ටෙස්ට් තරග 90කට ක්‍රීඩා කර ඇති දෝනි ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 4876ක්.

20යි 20 තරග 98කින් ලකුණු 1617ක් මෙන්ම එක්දින තරග 350කින් මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 10773ක් රැස්කර තිබෙනවා.

ඔහු ඉන්දීය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ 5 වන ස්ථානයේ පසුවනවා.

එමෙන්ම ඉන්දියාව අයි.සී.සී. ටෙස්ට් දර්ශකයේ ප්‍රමුඛස්ථානයට රැගෙන යාමට දෝණි සමත්වුණා. ඔහුටම ආවේණික හෙලිකොප්ටර් ෂොට් පිති පහර ක්‍රිකට් ලෝලීන් අමන්දානන්දයට පත් කරනු ලැබූවක්.

මේ අතර තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ ඉන්දීය ක්‍රීඩකයෙකු වන 33 හැවිරිදි සුරේෂ් රයිනාද ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමේ සිය තීරණය ප්‍රකාශයට පත් කළා.

ඒ, එම්.එස්. දෝණිගේ සමුගැනීමෙන් විනාඩි කිහිපයක් ඇතුළතයි.

මීට වසර 15කට පෙර ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගයකින් ජාත්‍යන්තර පිටියට පිවිසි ඔහු ලකුණු නොලබා දැවී ගියද පසුව ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් ශතකයක්, එක්දින ශතක 5 ක් සහ විස්සයි විස්ස ශතකයක්ද රැස් කළ අතර, තීරණාත්මක අවස්ථාවන්හිදී ඉන්දියාව වෙනුවෙන් ප්‍රතිවාදී පිලේ කඩුලූ බිඳ හෙලීමට සමත්වුණා.