පුහුණුවට තැනක් නැති මාතර ජිම්නාස්ටික් දරුවෝ (වීඩියෝ)

Wednesday, 16 September 2020 - 13:44

%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B6%A2%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9D+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


විසි වසරක ඉතිහාසයකට උරුකම් කියන මාතර දිස්ත්‍රික් ජිම්නාස්ටික් සංගමයේ මඟපෙන්වීම  හරහා දෙස් විදෙස් ක්‍රීඩා පිටියේදී ජයකෙහිළි නැංවූ  ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස අති මහත්.

මාතර දිස්ත්‍රික්කයේ කනිෂ්ඨ මෙන්ම ජේෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් සිය හැකියාවන් විදහා දක්වන්නට තිබෙන එකම  ජිම්නාස්ටික් සංගමය මෙය වුවත්, ජිම්නාස්ටික් ක්‍රීඩාව හරිහමන් ලෙස සිදු කරන්නට ස්ථානයක් ඔවුන්ට තවමත් නැහැ.

අහිගුන්ටකයන් ලෙසින් තැනින් තැනට ගොස් සිය ක්‍රීඩාව කර ගෙන ගිය මේ දූ දරුවන් 2014 වසරේ සිට යන්තම් හෝ සිය පුහුණුවීම් ගැටගහගත්තේ වැලිගම සිද්ධාර්ථ විද්‍යාලීය ප්‍රධාන ශාලාවට පින් සිදු වන්නටයි.

පාසලේ අධ්‍යන කටයුතු සිදු කරන විට පුහුණුවීම් සිදු නොකරන්නට වග බලා ගන්නත්, ඉන් පසු සිය ජිම්නාස්ටික් පුහුණුවීම් හැකි පමණින් කර ගෙන යන්නත්, පුහුණුකරුවන් සහ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වග බලා ගත්තා.

නමුත් වසර 6ක් පුරා මෙම දරුවන්  වැලිගම සිද්ධාර්ථ විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ සිදුකල පුහුණුවීම් වලටත් කණකොකා හඩන්නට පටන් ගත්තේ ගෙවුණු පෙබරවාරි මාසයේ සිටයි.

එම විද්‍යාලයේ ඉගෙනුම ලබන දු දරුවන්ගේ වැඩිවීමත් සමග සිද්ධාර්ථ විදුහල්පතිවරයා විසින්  සිය ප්‍රධාන ශාලාවේ  සිදුකරගෙන ගිය  පුහුණුවීම් නවතා දමන ලෙස මාතර දිස්ත්‍රික් ජිම්නාස්ටික් සංගමයට දැනුම් දුන්නේ ඔහුටද වෙනත් විකල්පයක් නොමැති වීම හේතුවෙන්.

ක්‍රීඩා බලධාරීන්ට කොතෙකුත් කිව්වත් එය බිහිරි අලින්ට වීණා වයන්නාක් මෙන් පළක් නොමැති බව ගෙවුණු වසර 20 පුරාවටම සක්සුදක් සේ වටහා ගත් මේ දු දරුවන් 500ක් පමණ දෙනා අද වන විට මාතර උයන්වත්ත ක්‍රීඩා පිටියේ එළිමහන් පුහුණුවීම් වල නිරත වනවා.

ජිම්නාස්ටික් ක්‍රීඩාව ඉසව් 10කින් සමන්විත වුවත්,මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අද සිදුව  ඇත්තේ ඉන් පොළොව ආධාර කරගෙන සිදු කරන ඉසව් කිහිපයකට පමණක් සිය පුහුණු කටයුතු සීමා කරන්නටයි.

මෙරට ක්‍රීඩාව යම්තාක් දුරකට හෝ ඉදිරියට එන්නට උත්සහ ගත් දා පටන් තිබෙන එකම ගැටළුව වන්නේ ඊට අවැසි සම්පත් නිසිපරිදි බෙදී නොයෑමයි.
ඊට තවත් එක්  උදාහරණයක් මෙම දු දරුවන් සැපයූවත්, මෙය මෙරට එකම හෝ අවසන් අවස්තාව ද නොවේ.

අශ්වයා ස්තාලයෙන් පැනයන්නට පෙර ක්‍රීඩාව කරවන බලධාරීන්ගේ නෙත් ඒ වෙත යොමුවුවතොත් එය මෙරට ක්‍රීඩාවේ හෙට දවසට යහපතක් වනු ඇති.

එහි අපිරිමිත කැපවීමේ ප්‍රතිඑළ දකුණු ලකට මෙන්ම  මෙරටටත් ගෙන දෙන්නට මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වුණේ වරක් දෙවරක් නොවේ.

ඒ අතරින් ගෙවුණු වසරේ මැලේසියාවේදී පැවති ජාත්‍යන්තර පෙස්ටා ජිම්නාස්ටික් තරගාවලියෙදී රන් පදක්කම් 12ක් ඇතුළුව පදක්කම් 21ක් මෙරටට  දිනා දෙන්නට මාතර ජිම්නාස්ටික් සංගමයට හැකිවීම කැපී පෙනෙනවා.