ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක්

Wednesday, 16 September 2020 - 15:41

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B6%82%E0%B6%A0+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

වෛද්‍ය සභාවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මේ වනවිට විවිධ පාර්ශවවලින් අමාත්‍යවරියට පැමිණිලි ගණනාවක් ඉදිරිපත්ව ඇති අතර, ඉන් ප්‍රධාන පැමිණිල්ල ලෙස දක්වා ඇත්තේ මේ දිනවල දැඩි කතාබහට ලක්වූ ජාත්‍යන්තරය පිළිගත් විදේශීය විශ්වවිද්‍යාල කිහිපයක ලියාපදිංචිය අහෝසි කිරීම සම්බන්ධයෙන් ඇතිවූ සිද්ධි මාලාවයි.

ඊට අමතරව, වෛද්‍ය සභාව තුළ පුරප්පාඩු වී නියෝජිතයින් පත් කිරීම සඳහා වූ නිලවරණය දිගින් දිගටම කල් දැමීම හා අවශ්‍ය අවම අධ්‍යාපන සුදුසුකම් හෝ සපුරා නොමැති වෛද්‍යවරුන් වෛද්‍ය සභාව තුළ ලියාපදිංචියට කටයුතු කිරීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරියට පැමිණිලි ලැබී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඒ අනුව, එම පැමිණිලි සම්බන්ධයෙන් වෛද්‍ය සභාවේ කරුණු විමසා වාර්තාවක් සපයන ලෙස වෛද්‍ය සභාවෙන් ඉල්ලා සිටීමට තීරණය කර තිබෙනවා.

අදාල කරුණු පිළිබඳ අධ්‍යයනය කර ස්වාධීන වාර්තාවක් ලබාදීම සඳහා පත් කර ඇති කමිටුවේ සාමාජිකයින් වන්නේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත පෙරේරා, රාගම වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය ප්‍රශාන්ත විජේසිංහ හා විශේෂඥ වෛද්‍යවරුන් වන අනුලා විජේසුන්දර, මෛත්‍රී චන්ද්‍රරත්න හා දර්ශන සිරිසේනයි.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ද සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත ඊයේ ලිපියක් යොමුකරමින් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වැඩබලන අතිරේක රෙජිස්ට්‍රාර්වරයා අඩු සුදුසුකම් සහිත පුද්ගලයෙකු බවයි.