අංගොඩ ලොක්කා ගැන කොයිම්බතූර් CIDය කියන අලුත්ම කතාව

Thursday, 17 September 2020 - 10:54

%E0%B6%85%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%AD%E0%B7%96%E0%B6%BB%E0%B7%8A+CID%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
ශ්‍රී ලංකාවේ පලාගොස් වෙනත් නමකින් ඉන්දියාවේ වාසය කළ මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන  ලසන්ත චන්දන පෙරේරා හෙවත්  අංගොඩ ලොක්කා කොයිම්බතූර්හිදී මියගොස් ඇත්තේ හෘදයාබාධයකින් බව, කොයිම්බතූර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියෙකු උපුටා දක්වමින්, ද හින්දු පුවත්පත වාර්තා කර තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා පදනම් කර ගනිමින් ඔහු එම ප්‍රකාශය කළ බවද හින්දු පුවත්පත සඳහන් කර තිබෙනවා.

අදාළ වාර්තාවෙන්, විෂ හෝ වෙනත් සැක සහිත කරුණු සොයා ගැනීමට නොහැකි වූ බවයි ඔහු පවසා ඇත්තේ.

කොයිම්බතූර් හි චෙරන් මා නගර් අසල බාලාජි නගර් හි කුලී නිවසක අංගොඩ ලොක්කා සමඟ ජීවත් වූ අමානි තන්ජි නම් ශ්‍රී ලාංකික කාන්තාවගේ මූලික ප්‍රකාශයට අනුව ජූලි 3 වන දින රාත්‍රියේ ඔහුට පපුවේ වේදනාවක් ඇති වී තිබෙනවා.

අංගොඩ ලොක්කා කොයිම්බතූර් හි ජීවත් වූයේ ප්‍රදීප් සිං නමැති ව්‍යාජ නාමයෙන් බවද මීට පෙර හෙළි වුනා.

ඔහුගේ මිතුරියන් වන මදුරෙයි හි  ඩී. සිවකමසුන්දරි, සහ තංජි ජුලි 5 වන දින පළමු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ලොක්කාගේ දේහය මදුරෙයි වෙත ගෙන ගොස් එහි ආදාහනය කර ඇති බවයි වාර්තා වුනේ.

මෙම සිද්ධිය හා ව්‍යාජ ලියකියවිලි සැකසීම යන චෝදනා මත එම දෙදෙනා ඇතුළු තුන් දෙනෙකු  අගෝස්තු 2 වනදා ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා.

ලොක්කාගේ මරණය, ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කිරීම, වැරදිකරුට රැකවරණය සැපයීම, අපරාධ කුමන්ත්‍රණය කිරීම සහ වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම යන චෝදනා ඔවුන්ට එල්ල වුනා.

අංගොඩ ලොක්කාගේ මරණය සම්බන්ධයෙන් සැක සහිත තැන්  නිරාකරණය වූ පසු අනෙක් චෝදනා ගැන පරීක්ෂණ ඉදිරියට යනු ඇති බව හින්දු පුවත්පත තවදුරටත් වාර්තා කර තිබෙනවා.

පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ ලොක්කා සතුව පිස්තෝලයක් තිබී බවත් ඔහුගේ මරණයෙන් පසු එය මදුරෙයිහි ශ්‍රී ලාංකික ජාතිකයෙකුට භාර දී ඇති බවයි.

එම ශ්‍රී ලාංකික පුද්ගලයා සොයා ගැනීමට පරීක්ෂණ පැවැත්වෙනවා.