කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වැසේ

Saturday, 26 September 2020 - 16:04

%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානමක් හේතුවෙන් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඔක්තෝම්බර් මස 11 වන දින දක්වා වසා තැබෙන බව එම කාර්යාලය නිවේදනය කළා.

එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 3 දෙනෙකුට සහ සුරක්ෂා නිවාසයේ රැදී සිටින 44 දෙනෙකුට කොරෝනා ආසාදනය වීම ඊට හේතුවයි.

මේ අතර, අද(26) දිනයේදී කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3349 දක්වා ඉහළ ගියා.

කටාර් සිට පැමිණි 3 දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි එක් අයෙකු ඒ අතර වන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එමෙන්ම, කොරෝනා ආසාදිතයින් 28 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගියා.

සුවය ලැබූ මුළු සංඛ්‍යාව 3,186 වන අතර, ආසාදිත 150 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

එසේම, කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වී පසුව ආසාදිතයෙකු නොවන බවට ප්‍රකාශ වූ රුසියානු ජාතිකයා අද හෝ හෙට මෙරටින් පිටත්ව යනු ඇතැයි බලාපොරොත්තු වන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදාළ රුසියානු ජාතිකයා නිරෝධායනය වීමේදී නියමිත ක්‍රමවේදය  අනුගමනය කර නොතිබූ බවයි.