කොරෝනා පාලනයෙන් ශ්‍රී ලංකාව ලොව දෙවන තැනට (වීඩියෝ)

Sunday, 27 September 2020 - 9:25

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කොවිඩ් 19  ගෝලීය වසංගතය වැළැක්වීමේ ක්‍රියාමාර්ග, ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සහ ජාත්‍යන්තර සහයෝගිතාව සැළකූ විට ශ්‍රී ලංකාව ලොව රටවල් 108ක් අතුරින් දෙවන ස්ථානයට පැමිණ තිබෙනවා.

චීන මූල්‍ය බුද්ධි ආයතනයක් වන යීකායි පර්යේෂණ ආයතනය සිදුකළ සමීක්ෂණයට අනුව කොවිඩ් 19 ගෝලීය වසංගතයට සාර්ථක ලෙස මුහුණදුන් රටවල් අතුරෙන් මුල්තැන ගෙන ඇත්තේ  චීනයයි.

ශ්‍රී ලංකාව එහි දෙවන තැන හිමිකරගෙන සිටින අතර, තුන්වන ස්ථානය හිමිව ඇත්තේ අප්‍රිකානු ඝානා රාජ්‍යයටයි.

දකුණු කොරියාව, මියන්මාරය,  ඕස්ට්‍රේලියාව, තායිලන්තය සහ නවසීලන්තය, වියට්නාමය සහ කාම්බෝජය පිළිවෙලින් හතරවන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා හිමිකරගෙන සිටිනවා.

කොවිඩ් 19 පාලනය අතින් මුල් තැන ගෙන සිටින රටවල් 10 න් 9ක්ම ආසියානු පැසිෆික් කලාපයට අයත් රටවල් වීම විශේෂත්වයක්.

ඩෙන්මාර්කය සහ ජර්මනිය යුරෝපයේ  කොවිඞ් පාලනය අතින් ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති අතර, ගෝලීය වසංගතයේ අවදානම නොසළකා හැරි බ්‍රසීලය සහ ඇමරිකා එක්සත් ජනපදයට සාර්ථක ප්‍රතිචාර දර්ශකයේ හිමිව ඇත්තේ 89 සහ 98 වන ස්ථානයි.

මෙම දර්ශකය සැකසීමේදී යීකායි පර්යේෂණ ආයතනය අදාළ රටවල් එකසිය අටේ වසංගත රෝග පාලන ආකෘති ඇගයීමට ලක් කර ඇති අතර, වෛරස් ව්‍යාප්තිය වැළැක්වීමට දේශීය වශයෙන් සංවර්ධනය කළ ආකෘති පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර ඇති බව සඳහන්.

චීන පර්යේෂණ ආයතනය සැකසූ මෙම වාර්තාව සමාප්ත කර ඇත්තේ කොරෝනා  එන්නතක් සුලභව යොදාගැනීමට හැකිවන තුරු කොරෝනා වෛරසය මිනිස් සංහතිය තුළ පවතිනු ඇති බව ප්‍රකාශ කරමින්.

මේ නිසා තාක්ෂණික මෙවලම් සහ ජනතා සහය ඇතිව ගෝලීය වසංගතයට එරෙහි සාධනීය ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම සඳහා රජයන් පියවර ගත යුතු බවයි එමගින් පෙන්වා දෙන්නේ.

මේ අතර කොවිඩ් 19 ගෝලීය වසංගතයෙන් අනතුරුව මෙරට සංචාරක කර්මාන්තය යළි ප්‍රකෘතිමත් කිරීම සඳහා සහය වන බවට ඇමරිකාව ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ තාක්ෂනික සහය ලබාදීමට ඇමරිකාව මේ වනවිටත් කටයුතු කර ඇති බවයි.

ඇමරිකානු මූල්‍යාධාර යටතේ ශ්‍රී ලංකාවේ සංචාරක ක්‍ෂේත්‍රයට සිය සන්නිවේදන සහ ප්‍රවර්ධන කටයුතු වැඩිදියුණු කිරීමට හැකියාවක් ලැබෙන බවයි  ඇය කියා සිටියේ.