මඩ ප්‍රහාර මැද ට්‍රම්ප් - බයිඩ්න් සංවාදය නිම වේ (වීඩියෝ)

Wednesday, 30 September 2020 - 12:43

%E0%B6%B8%E0%B6%A9+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+-+%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+%E0%B7%80%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
2020 ඇමරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් දෙදෙනා වන වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිටපු උප ජනාධිපති ජෝ බයිඩ්න් අතර පළමු දේශපාලන විවාදය පෞද්ගලික ලෙස එකිනෙකාට මඩ ප්‍රහාර එල්ල කර ගනිමින් උණුසුම් ලෙස පැවැත්වුණා.

දෙදෙනා අතර පැවති විවාදය ඇතැම් අවස්ථාවල එය මෙහෙය වූ නිවේදකයාට පවා පාලනය කර ගත නොහැකි තත්ත්වයක් දක්වා වර්ධනය වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඇමරිකානු වේලාවෙන් ඊයේ රාත්‍රියේ පැවති මෙම දේශපාලන විවාදයේදී ජෝ බයිඩ්න් චෝදනා කළේ ට්‍රම්ප් රුසියානු ජනාධිපති වැලැදිමීන් පුටින්ගේ අතේ නැටවෙන රූකඩයක් බවයි.

එමෙන්ම ඔහු ට්‍රම්ප් විකට රංගන ශිල්පියෙකු ලෙස ද හුවා දැක්වූවා.

එම කරුණු හමුවේ ට්‍රම්ප් නිරුත්තර වූ ආකාරයක් දක්නට ලැබුණු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මීට අමතරව මෙම සංවාදයේදී කොරෝනා වසංගතය හමුවේ ඇමරිකාවට සිදුව ඇති බලපෑම සහ එරට ආර්ථිකය සම්බන්ධයෙන් වාද විවාද සිදුව තිබෙනවා.

බයිඩ්න් සිය දේශනය සිදුකරන අවස්ථාවේදී ජනාධිපති ට්‍රම්ප් එම සාකච්ඡාවලට බාධා කරමින් කටයුතු කළ බවට විදෙස් වාර්තා හුවා දක්වා තිබුණා.

එම අවස්ථාවේදී බයිඩ්න්, ට්‍රම්ප්ට අවවාද කළේ සදාචාරාත්මකව හැසිරෙන ලෙසටයි.

කොරෝනා වසංගතය හමුවේ ඇමරිකානු ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට හෝ කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ නැගීමේ වැඩපිළිවෙලක් ට්‍රම්ප්ට නොමැති බවටත් බයිඩ්න් චෝදනා කර තිබෙනවා.

විනාඩි 90ක් පුරා පැවති සංවාදයෙන් අනතුරුව දෙදෙනා අතට අත දෙමින් සමුගැනීමක් සිදු කර නොමැති අතර විදෙස් වාර්තා කියා සිටියේ කොරෝනා වසංගතය හේතුවෙන් එලෙස සිදු කර නොමැති බවයි.

මේ අතර 2020 ඇමරිකානු ජනාධිපතිවරණ සටනේ ජෝ බයිඩ්න් ඉදිරියෙන් සිටින බව මත විමසුම් පෙන්වා දෙනවා.