බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 2000 සීමාව පසු කරයි - කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරුන් 12ක් ඇතුලු 53ක් නිරෝධායනයට (වීඩියෝ)

Saturday, 17 October 2020 - 19:07

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%9A%E0%B7%94%E0%B6%BB+2000+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+12%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+53%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් නව ආසාදිතයන් 115 දෙනෙකු අද දිනයේ මේ දක්වා කාලය තුළ වාර්තාවීමත් සමඟ එම පොකුරෙන් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 2000 සීමාව පසුකර ගියා.

මේ වන විට මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 2014ක්.

මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 5,475ක් ලෙසටයි.

ඉන් පුද්ගලයින් 2,067 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

කෙසේ වෙතත්, අද දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පුද්ගලයින් දසදෙනාද ඇතුළුව මේ වනවිට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3,395ක් වීමද විශේෂත්වයක්.

මේ අතර, කුලියාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වීමත් සමඟ එම රෝහලේ වෛද්‍යවරුන් 12 දෙනෙකු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 53 දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

මෙම තත්වයත් සමඟ කුලියාපිටියේ ඌරුපිටිය හා ගයියාල යන ප්‍රදේශවලට සංචාරක සීමා පැනවීමට කටයුතු කළ බවයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

කොළඹ නැව් තටාකාංගණයේ සේවය කරන ගාල්ල - කිතුලම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටද කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති අතර, ඔහු ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර කොරෝනා වෛරසය ආසාදිත බවට පළමු පී සී ආර් පරීක්ෂණයෙන් තහවුරු වූ කොළඹ මහ නගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ සහකාරවරියට එම වෛසරය ආසාදනය වී නොමැති බවයි ඊයේ සිදුකළ දෙවන පී සී ආර් පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි කියා සිටියේ කොරෝනා මර්දනයට උරදෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂා කරගත යුතු බවයි.

පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිය සමිති නායකයින් සමඟ අද සෞඛ්‍ය අමාත්‍යාශයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරිය මෙම අදහස් පළ කළා.

මේ අතර, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන සියලුම සත්වෝද්‍යාන වසාදැමීමට තීරණය කර තිබෙනවා.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක කියා සිටියේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මහජනතාවට ජාතික උද්‍යාන වෙත පිවිසීමේ අවස්ථාව තවදුරටත් පවතින බවයි අමාත්‍ය සී.බී. රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

එසේම, ශ්‍රී ලංකාවෙන් පිටව යන සියලුම ගුවන් මගීන් තම පිටත්වීමේ වේලාවෙන් පැය 72 ක් ඇතුළත පී.සී.ආර්. පරීක්ෂණය සිදුකරගෙන තිබීම අනිවාර්ය බව ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම නිවේදනය කරනවා.

හෙට පස්වරු 6 සිට මෙය ක්‍රියාත්මක බවයි ඔවුන් නිවේදනය කළේ.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19කට පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව සතොස අලෙවිසැල් හරහා අවදානම් කළාපවල ජනතාව වෙනුවෙන් භාණ්ඩ ලබාදීම සඳහා ප්‍රමුඛතාව ලබාදී ඇති බව සතොස සභාපති නුෂාඩ් එම් පෙරේරා සඳහන් කළා.