ඊයේත් නව ආසාදිතයින් 121ක්

Sunday, 18 October 2020 - 7:09

%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+121%E0%B6%9A%E0%B7%8A
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දෙදහස ඉක්මවා ගියා.

ඒ, අනුව ඊයේ දිනයේ එම පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින් 115 දෙනාත් සමඟ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 2014ක්.

එම පොකුරේ ඊයේ වාර්තා වූ ආසාදිතයන්ගෙන් 24 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයින් හෝ කාර්ය මණ්ඩලයේ අය වන අතර, සෙසු 91 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් වනවා.

එසේම, විදේශ රටවල සිට දිවයිනට පැමිණ නිරෝධානයට ලක්වෙමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකුද ඊයේ ආසාදිතයින් ලෙස හඳුනාගත්තා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ විදේශ රටවල සිට පැමිණි නාවිකයින් 04 දෙනෙක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගත් බවයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 5,475ක් ලෙසයි.

ඉන් පුද්ගලයින් 2,067 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

ඊයේ දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පුද්ගලයින් දසදෙනාද ඇතුළුව මේ වනවිට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3,395ක්.

පවතින තත්ත්වය හමුවේ කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ පෞද්ගලික අංශයට යොමු කිරීම තුළින් වැරදි වාර්තා නිකුත් විය හැකි බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය පවසනවා.

එහි සභාපති රවී කුමුදේශ් ප්‍රකාශ කළේ රජයේ රෝහල් හරහා අදාළ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි කළමනාකාරීත්වයක් සිදු නොකරන බවයි.

මේ අතර, කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මහජනතාවට අවශ්‍ය වන සියලු තොරතුරු ලබාගැනීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කෙටි දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව 1999 ක්ෂණික දුරකතන අංකය අමතා අදාළ තොරතුරු ලබාගත හැකි බවයි වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ එස්.ශ්‍රීධරන් ප්‍රකාශ කළේ.

මෙම ක්ෂණික දුරකතන අංකය හරහා වෛරසය ආසාදනය වීම වළකා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මෙන්ම එය පවුලේ සෙසු සාමාජිකයින් ඇතුළු පිරිස් වෙත බෝවීම වළක්වා ගන්නා ආකාරය පිළිබඳවද උපදෙස් ලබාගත හැකි වනවා.

යම් පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හැඟී යන්නේ නම් කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙම දුරකතන අංකය හරහා භාෂා තුනෙන්ම තොරතුරු ලබාගත හැකියි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ දැනට වාර්තා වන සියලු කොරෝනා ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථානවල හෝ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය හරහා ආසාදිතයින් වූ පුද්ගලයින් බවයි.