බ්‍රැන්ඩික්ස් පොකුරට දින 14යි - ඉදිරි සතියේ අවධානයෙන් පසුවන්න - සෞඛ්‍ය අංශවලින් උපදෙස් (වීඩියෝ)

Sunday, 18 October 2020 - 13:33

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+14%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව නව කොරෝනා පොකුර වාර්තා වී අදට දින 14ක් සම්පූර්ණ වනවා.

පවතින තත්ත්වය මත ඉදිරි සතියේදී මෙම කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් ඉතා වැදගත් වන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

ඉදිරි සතිය තුළ සාර්ථකව රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට හැකියාව ලැබුනහොත් එය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර මර්දනය කිරීම සඳහා හේතුවනු ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

මේ අතර, කටුනායක ආයෝජන කලාපය ආශ්‍රිතව ඇගළුම් කර්මාන්ත ශාලාවලින් හමුවු කොරෝනා ආසාදිත සේවක සේවිකාවන් සංඛ්‍යාව 213ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රකාශයෙකු සඳහන් කළේ ඊයේ දිනයට සාපේක්ෂව නව කොරෝනා ආසාදතයින් 33 දෙනෙකු කටුනායක ආයෝජන කලාපයෙන් වාර්තා වී ඇති බවයි.

ආයෝජන මණ්ඩලය සඳහන් කළේ ඔවුන් යටතේ ඇති ආයතන තුළ පමණක් පී.සී.ආර්. පරීක්ෂණ 15,000කට වැඩි සංඛ්‍යාවක් සිදුකර ඇති බවයි.

එමෙන්ම, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දෙදහස ඉක්මවා ගියා.

ඒ, අනුව ඊයේ දිනයේ එම පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින් 115 දෙනාත් සමඟ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 2014ක්.

මේ වනවිට මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 5,475ක් ලෙසයි.

ඉන් පුද්ගලයින් 2,067 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

ඊයේ දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පුද්ගලයින් දසදෙනාද ඇතුළුව මේ වනවිට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3,395ක්.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් මෙම කොරෝනා පොකුර වර්ධනය වීමත් සමඟ කොළඹ දිස්ත්‍රික්කය පිළිබඳව යොමුවූයේ දැඩි අවධානයක්.

ආර්ථික මර්මස්ථාන රැසක් පිහිටා තිබීම සහ ජනඝනත්වය ඉහළ මට්ටමක පැවතීම ඊට ප්‍රධාන හේතුවක්.

කෙසේ වෙතත්, කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි සඳහන් කළේ මේ දක්වා කොළඹ නගරයේ කොරෝනා වෛරසය සමාජයට සම්ප්‍රේෂණය වීමේ තත්ත්වයක් පෙන්නුම් නොකරන බවයි.

රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වූ ස්ථානවල එය තවදුරටත් පැතිරයාම වැළැක්වීමට උපරිම පියවර ගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශ 19හි එම ඇඳිරි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

එමෙන්ම, ඇඳිරි නීතිය පැනවීම සහ කොරෝනා ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රචාර පිළිබඳව තවදුරටත් දැඩි අවධානයෙන් පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.