සැඟව සිටියදී අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් 27 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරයට (වීඩියෝ)

Monday, 19 October 2020 - 18:05

%E0%B7%83%E0%B7%90%E0%B6%9F%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B7%82%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+27+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ලබන 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔහු අද(19) පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් සඳහන් කළේ සැකකාර රිෂාඩ් බදියුදීන් මෙම සිද්ධියේදී කටයුතු කර ඇත්තේ මහජන මුදලින් නඩත්තු වන මහජන නියෝජිතයෙකු ලෙස නොව රස්තියාදුකාරයෙකු ලෙස බවයි.

මීට අමතරව මන්ත්‍රීවරයාට සැගව සිටීමට ආධාර අනුබල දුන් වෛද්‍යවරියක් ඇතුළු 7 දෙනා ද ලබන 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

දින 6ක් පුරා පොලීසිය මඟ හරිමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අද අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ දෙහිවල - එබනයිසර් මාර්ගයේ පිහිටි මහල් නිවාසයක සැඟව සිටියදියි.

ඔහුට ගත වූ දින කිහිපය තුළ සැගව සිටීමට ආධාර අනුබල දුන් වෛද්‍යවරියක් ඇතුළු 7 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, එම පිරිසට වෛද්‍යවරියගේ සැමියා සහ විදේශ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවෙකු ද අයත්.

මේ වන විට සිදුකර ඇති පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ රිෂාඩ් බදියුදීන් 14 සහ 15 යන දින දෙකෙහි කොහුවල ප්‍රදේශයේ නිවසක සැඟව සිට ඇති බවයි.

පසුව මෝටර් රථයකින් දෙහිවල - එබනයිසර් මාර්ගයේ පිහිටි මහල් නිවාසයට පැමිණ සැඟව තිබෙනවා.

වෛද්‍යවරිය, ඇගේ සැමියා මෙන්ම සෙසු සැකකරුවන් 7 දෙනා හිටපු අමාත්‍යවරයාට කොහුවල සහ දෙහිවල පිහිටි නිවෙස්වල සැගවීමට උපකාර කිරීම මෙන්ම මෝටර් රථයකින් ප්‍රවාහන පහසුකම් ද සලසා තිබෙනවා.

එම මෝටර් රථය ද මේ වන විට පවතින්නේ රහස් පොලිස් භාරයේයි.

මහජන දේපළ සාපරාධී ලෙස අවභාවිතා කිරීම සහ මැතිවරණ නීති උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ, ඔහු නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයාව සිටියදී අවතැන් වූ ඡන්දදායකයන් මන්නාරම ප්‍රදේශයට ලංගම බස් රථවලින් ප්‍රවාහනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට අද කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් වැඩිදුරටත් සදහන් කළේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මෙම ක්‍රියාව සිදුකර ඇත්තේ සැලසුම්සහගතව බව අනාවරණ වී ඇති බවයි.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් සම්බන්ධයෙන් දින 14ක් ඇතුළත විමර්ශන වාර්තාවක් ලබාදෙන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර, තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සම හෙට සලකා බැලීමට නියමිතයි.