මලල්ගොඩ කමිටු වාර්තාවට ගිය හේමසිරි නොකී කරුණු (වීඩියෝ)

Tuesday, 20 October 2020 - 13:57

%E0%B6%B8%E0%B6%BD%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%9A%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%93+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29




පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ මලල්ගොඩ කමිටු වාර්තාවේ තමන් නොපැවසූ කරුණු අන්තර්ගත බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු මේ බව පැවසුවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ රාත්‍රීයේ සාක්ෂි ලබාදීමට කැඳවා තිබුණේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතායි.

මෙහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මුල්වරට පත්කෙරුණු මලල්ගොඩ කමිටුව සම්බන්ධයෙන් සහ ඊට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ලබාදී තිබූ සාක්ෂි සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥවරයා කොමිසමේ අවධානයට යොමුකළා.

හේමසිරි ප්‍රනාන්දු - හිටපු ආරක්ෂක ලේකම් -

"මලල්ගොඩ කමිටුවේ අවසන් වාර්තාවේ මගේ සාක්ෂි ලෙස සටහන් වන ඇතැම් කරුණු නිවැරදි ලෙස වාර්තා කර නැහැ. කිසිදු අවස්ථාවක සාක්ෂිය අවසානයේ එය නිවැරදිව සටහන් කර ඇති බවට මගෙන් අත්සන් හෝ ගත්තෙත් නැහැ. ස්වාමීනි මම පැහැදිලිව කියනවා මම නොකියූ දේවල් එහි සටහන් වෙලා තියෙනවා. ''

නීතිඥ දිල්ෂාන් ජයසූරිය - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනීසිටින නීතිඥ -

"ප්‍රහාරයෙන් පසුව එවකට සිටි ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් ඔබ හා එවකට පොලිස්පතිවරයා මෙම ප්‍රහාරයේ වගකීම භාරගත යුතු බවට ප්‍රකාශයක් කර තිබෙනවා නේද ප්‍රනාන්දු මහත්මයා. ඒ වන විට මලල්ගොඩ කමිටු වාර්තාව ඉදිරිපත් කර තිබුණද ?"

හේමසිරි ප්‍රනාන්දු - හිටපු ආරක්ෂක ලේකම් -

"මලල්ගොඩ කමිටු වාර්තාව හෝ ඉදිරිපත් කිරීමටත් පෙර තමයි හිටපු ජනාධිපතිවරයා විසින් මාව හා එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මෙම ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වගකීව යුතු බවට ප්‍රකාශයක් කළේ."

නීතිඥ දිල්ෂාන් ජයසූරිය - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනීසිටින නීතිඥ -

" ඔබ එම චෝදනා පිළිගන්නවාද ?"

හේමසිරි ප්‍රනාන්දු - හිටපු ආරක්ෂක ලේකම් -

"කිසිසේත්ම නැහැ. හිටපු ජනාධිපතිවරයා වැඩිපුර හුවාදැක්වූයේ පොලිස්පති හා මා ඔහුට ඒ තොරතුර ගැන දැනුවත් නොකිරීම. කොහොමත් මගේ සේවා කාලය තුළ එක දවසකවත් මම ජනාධිපතිවරයාට බුද්ධි තොරතුරු කියලා නැහැ. එය සම්ප්‍රදායක් ලෙසම කළේ රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින්.''

නීතිඥ දිල්ෂාන් ජයසූරිය - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනීසිටින නීතිඥ -

"අප්‍රේල් 04 වැනිදා රාජ්‍ය බුද්ධි සේවය වෙත ලැබුණු ප්‍රහාරයක අවධානම ගැන සති බුද්ධි වාර්තාවේ සඳහන් කරන්නට තිබුණාද  සාක්ෂිකරු ?"

හේමසිරි ප්‍රනාන්දු - හිටපු ආරක්ෂක ලේකම් -

"අනිවාර්යයෙන් සඳහන් කරන්න තිබුණා. ඒ වෙද්දී එය නිශ්චිත තොරතුරක්ද නැද්ද කියන එක නෙවෙයි ලැබුණු තොරතුරේ වැදගත්කම සලකලා එය සති බුද්ධි වාර්තාවට ඇතුළත් කරන්න තිබුණා. එහෙම වුණානම් ඒ පිළිබඳ දැනගත යුතු පාර්ශව සියල්ල හමුදා බුධි අංශ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු සියලු දෙනා ඒ ගැන අවබෝධයක් ලබා ගන්නවා. එහෙම වුණානම් ඒ සඳහා සාකච්ජා කරලා ක්‍රියාකාරී මෙහෙයුමක් හදාගන්නත් තිබුණා."

නීතිඥ දිල්ෂාන් ජයසූරිය - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනීසිටින නීතිඥ -

"අප්‍රේල් 19 වැනිදා රාජ්‍ය බුද්ධි සේවය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට යොමුකරන ලද වාර්තාව ඔබටත් පිටපත් කර තිබුණාද?"

හේමසිරි ප්‍රනාන්දු - හිටපු ආරක්ෂක ලේකම් -

"නැහැ ස්වාමීනි. මටත් එවලා තිබුණ නම් ඒ වෙද්දී අපට පැය 48ක් තිබුණා. එහෙම මා දැනුවත් වුණා නම් සියලු දෙනා කැඳවලා සාකච්ජාවක් කරලා අවශ්‍ය ක්‍රියාත්මක සැලසුම හදන්න තිබුණා. මා වෙත එම වාර්තාව ලබා නොදීම රාජ්‍ය බුද්ධි සේවයෙන් සිදු වූ ලොකු අඩුපාඩුවක්."

නීතිඥ දිල්ෂාන් ජයසූරිය - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනීසිටින නීතිඥ -

"අප්‍රේල් 04 සිට 21 දක්වා කාලය තුළ නිලන්ත ජයවර්ධන ඔබව හමුවෙන්න අවස්ථාවක් ඉල්ලුවේ නැද්ද?"

හේමසිරි ප්‍රනාන්දු - හිටපු ආරක්ෂක ලේකම් -

"නැහැ. එහෙම කිසිම ඉල්ලීමක් කළේ නැහැ. එහෙම ඉල්ලීමක් නැතිව ඕනෑම අවස්ථාවක් මාව මුණ ගැහෙන්න ඔහුට අවසරය දීලා තිබුණේ. ඔහුට පමණක් නෙවෙයි CNI හා CDS ටත් ඒ අවසරය තිබුණා."

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු -

"ඔබ සාක්ෂි ලාබදීමට පෙර මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පැවසුවා 21 වැනිදා පිපිරීම් අප්‍රේල් 04 වැනිදා සිට 07 වැනිදා දක්වා කාලය තුළ සිදු වුවා නම් එහි වගකීම තමන් භාරගන්නා බව. නමුත් එසේ නොවුණු බවත් දැන් ඊට වගකිව යුතුවන්නේ ආරක්ෂක ලේකම්, පොලිස්පති හා ජාතික බුද්ධි ප්‍රධානී බව ඔහු පවසනවා. ඔබ මොකද මේ ගැන හිතන්නේ හේමසිරි ප්‍රනාන්දු මහත්මයා?"

හේමසිරි ප්‍රනාන්දු - හිටපු ආරක්ෂක ලේකම් -

"මට ඒ ගැන මොනවත් කියන්න දෙයක් නැහැ ස්වාමීනි. නමුත් මම ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා."






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories