මෙරට කොරෝනා මුළු ආසාදිතයන් 5,811 දක්වා ඉහළට

Wednesday, 21 October 2020 - 7:38

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+5%2C811+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
තවත් කොරෝනා ආසාදිතයන් 180 දෙනෙකු ඊයේ දිනයේදීත් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5,811 දක්වා ඉහළ ගියා.

එමෙන්ම තවදුරටත් රෝගීන් 2,341 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 3,457 ක්.

මේ අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්තශාලාවේ කොරෝනා පොකුර ද මේ වනවිට 2,221 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැනට දිස්ත්‍රික්ක 21 ක කොරෝනා ව්‍යාප්තිය සිදුව ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

කොරෝනා වෛරසය රට තුළ යළිත් වරක් හිස ඔසවා ඇති මොහොතක වැඩි අවදානම් කාණ්ඩයක් ලෙස සැළකෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශයේ තරුණ, වැඩිහිටි සහ ආබාධ සහිත ඒකකය සහ වැඩිහිටි මහලේකම් කාර්යාලය විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව අවධාරණය කළේ.

ඒ අනුව නිවෙස් තුළ සිටින සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශ පවත්වාගෙන යන වැඩිහිටි නිවාසවල සිටින වැඩිහිටි ප්‍රජාව ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම වඩා වැදගත් වනවා.

හැකි සෑම විටම බැහැරට යෑමෙන් වැළකීම, පිරිස් වශයෙන් එක්රැස්වීම අවම කිරීම සහ මීටරයේ දුර පවත්වාගන්නා ලෙසයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ඊයේ දිනයේදීත් නව කොරෝනා ආසාදිතයන් හත්දෙනෙකු හඳුනාගෙන ඇති බව එහි වසංගත රෝග විද්‍යාඥ දිනූකා ගුරුගේ සඳහන් කළා.

ඒ අනුව මේ වනවිට කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් වාර්තාවන මුළු කොරෝනා ආසාදිත සංඛ්‍යාව 27 ක්. එම ප්‍රදේශයෙන් ඊයේ වාර්තාවූ කොරෝනා ආසාදිතයන් අතර 4 දෙනෙකු පිටකොටුව කරවල වෙළඳසැළක සේවකයින් බව සඳහන්.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ පමණක් කොරෝනා ආසාදිතයන් 1,702 ක් වාර්තාවී ඇති අතර, කටුනායක නිදහස් වෙළඳ කලාපයෙන්ද වාර්තාවන රෝගීන් සංඛ්‍යාව 268 ක්.

මේ අතර දිවයින පුරා පී සී ආර් පරීක්ෂණ තුන්ලක්ෂ 98,196 ක් සිදුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එමෙන්ම දිවයින පුරා පී.සී.ආර්. පරීක්ෂණාගාරද 24 ක් පිහිටුවා ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

කළුතර දිස්ත්‍රික්කය තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත්තේද කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙසයි.

මේ අතර රට තුළ පවත්නා කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ දුම්රිය මගීන්ගේ සැළකිය යුතු අඩුවක් පවතින බැවින් තවත් නගරාන්තර දුම්රිය ගමන් වාර 10 ක් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව උදෑසන හතට කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වන සහ සවස තුනට මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය ධාවනය නොවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.  

එමෙන්ම පස්වරු තුනට මරදාන සිට බෙලිඅත්ත දක්වාත්, අලුයම 2.15 ට බෙලිඅත්ත සිට මරදාන දක්වාත් ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය ද ධාවනය අවලංගු කර තිබෙනවා.

තවද පස්වරු 3.05 ට කොළඹ කොටුවේ සිට පොළොන්නරුවටත්, අලුයම 3.45 ට පොළොන්නරුවේ සිට කොළඹ කොටුවටත් ධාවනය වන දුම්රියද අවලංගු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට අමතරව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල දුම්රිය ධාවනයද අවලංගු කිරීමට මීට පෙර දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තා.

රට තුළ ඇතිවී තිබෙන කොරෝනා ව්‍යසනයෙන් සියලු ජනතාව ආරක්ෂා කරගැනීම උදෙසාත් රෝ බිය දුරුකිරීම උදෙසාත් රතන සූත්‍රය සජ්ඡායනා කිරීමේ වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මෙම ආගමික කටයුත්ත දිවයින පුරා පිරිවෙන්, සිල්මාතා අධ්‍යාපන ආයතන, බෞද්ධ දහම් පාසල් කේන්ද්‍ර කරගනිමින් සියලු බෞද්ධ විහාරස්ථානවල එකම වේලාවේ ආරම්භ කොට දින 10 ක් පුරා එය සිදුකිරීමටයි දැනට තීරණය කර ඇත්තේ.

එහි ආරම්භය අද පස්වරු 8.30 ට මාතර රන්දූපත උපෝසථාගාර මහා විහාරස්ථානයේදී සිදු කිරීමට නියමිතයි.