කටුනායක ආයෝජන කලාපයේ කොරෝනා ආසාදිතයන් 314 ක් දක්වා ඉහළට (වීඩියෝ)

Wednesday, 21 October 2020 - 12:56

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+314+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළේ 49 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

පසුගිය සඳුදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තා අද දිනයේ ලැබී ඇති අතර, එහිදී මේ බව අනාවරණ වූ බවයි පෑලියගොඩ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්.එම්. වික්‍රමසූරිය සඳහන් කළේ.  

එමෙන්ම, කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු වාර්තා වීමත් සමඟ කඩවත - රන්මුතුගල බංගලාවත්ත ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ 46 සහ 56 වාට්ටු රෝගීන් ඇතුළත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව එහි ප්‍රකාශකයෙකු සදහන් කළා. ඊට හේතු වී ඇත්තේ මෙම වාට්ටු දෙකෙන් කොරෝනා ආසාදිත රෝගීන් හමුවීමත් සමඟයි.

මේවා සාමාන්‍ය වාට්ටු ලෙස සැලකෙන අතර කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කර ඇති බවයි එම රෝහලේ ප්‍රකාශකයා කියා සිටියේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කටුනායක අපනයන කලාපයෙන් වාර්තා වන කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වන විට 314 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ඊයේ දිනයේ තවත් රෝගීන් 56 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

ආසාදිතයන් වාර්තා වන කර්මාන්තශාලාවල සියළු සේවකයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ ඊයේ දිනයේත් කටුනායක ආයෝජන කලාප ක්‍රීඩාංගණයේදී සිදුකර තිබෙනවා.

රෝගීන් වාර්තා වන කර්මාන්තශාලාවල අදාළ අංශ හැර සෙසු කර්මාන්තශාලාවල කටයුතු සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව පවත්වාගෙන යන බවයි ආයෝජන මණ්ඩලයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් වෙළද කලාප ආයෝජකයන්ගේ සංගමයේ ලේකම් ධම්මික ප්‍රනාන්දු කියා සිටියේ කොරෝනා තත්ත්වයත් සමඟ කටුනායක අපනයන සැකසුම් කලාපය තුළ මාසිකව මෙරට ජාතික ආර්ථිකයට උපයා දෙන විදේශ විනිමය සියයට 40කින් පමණ අඩු වී ඇති බවයි.

කොරෝනා ආසාදිත පොලිස් පරීක්ෂකවරයෙකු හමුවීමත් සමඟ තාවකාලිකව වසා දැමූ කොළඹ - කොටුව පොලීසිය අද පෙරවරුවේ සිට යළි විවෘත කරනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ කොටුව පොලීසිය ස්ථාපිත කර ඇති ගොඩනැගිල්ල විෂබීජහරණයට ලක් කිරීමෙන් පසුව වෙනත් පොලිස් නිලධාරීන් අනුයුක්ත කර එහි රාජකාරි කටයුතු යළි ආරම්භ කළ බවයි.

මේ අතර, කුලියාපිටිය ප්‍රදේශයෙන් අද දිනය වන විට කොරෝනා ආසාදිතයින් 30 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උත්පල සංකල්ප ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මේ වන විට එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 1000කට වැඩි පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි. ආසාදිතයන් වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ බෝහිංගමුව, හම්මලව ප්‍රදේශවලින්.

එමෙන්ම, කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වන මෙම ආසාදිතයන් කිසියම් ආගමික නිකායකට අයත් දේවස්ථානයක පූජාවකට සහභාගි වී ඇති බවට අනාවරණ වී ඇති අතර, මෙම ආගමික නිකායේ පිරිස් දිවයිනේ වෙනත් ප්‍රදේශ වෙත සංක්‍රමණය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් බුද්ධි අංශ සහ සෞඛ්‍ය අංශ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම, කොරෝනා වෛරසය සමාජගත වී ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හිරු ටී.වී. ඔස්සේ විකාශය වූ පත්තරේ විස්තරේ වැඩසටහනට අද උදෑසන එක්වෙමින් අදහස් පළ කළා.

මේ අතර, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ නිසා ඔහුගේ ආශ්‍රිතයන් 40 දෙනෙකුගේ පමණ මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් 5,811 ක් වාර්තා වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2,341ක්.

මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඞ් බදියුදීන් නිරෝධායනයට ලක් කර ඇති නිසා සති දෙකක කාලයක් පාර්ලිමේන්තු සභා වාරයන්ට සහභාගිවීමට අවසර ලබා නොදෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

මේ අතර කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් මතුවූ අතර, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ඊට මැදිහත්වුණා.

එමෙන්ම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මුජිබර් රහුමාන් සහ නලින් බණ්ඩාරද මෙම සංවාදයට එක්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories