ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පිරිස 759 දක්වා ඉහළට

Saturday, 24 October 2020 - 13:25

%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%82%E0%B6%9D%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83+759+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
දිවයිනේ පොලිස් වසම් 49 කට බලපැවැත්වෙන පරිදි මේ වනවිට නිරෝධායනය ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 33 ක, කොළඹ උතුර කොට්ඨාශයේ පොලිස් වසම් 06 ක, කුලියාපිටිය ප්‍රදේශයේ පොලිස් වසම් 05 ක, කළුතර කොට්ඨාශයේ පොලිස් වසම් 03 ක සහ වැල්ලම්පිටිය පොලිස් වසමේ මෙලෙස ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

මීට අමතරව වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගුලවිට - උතුර, ගුලවිට - දකුණ, වෙදවත්ත, මගුරුමස්විල සහ මාකලන්දාව යන ගම්මාන ඊයේ රාත්‍රියේ සිට හුදකලා කිරීමටයි පියවර ගැනුණේ.

මේ වනවිට ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත්වූවන්ගේ සංඛ්‍යාව 759 දක්වා ඉහළ ගොස් ඇති අතර, පොලිස් භාරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 110 ක් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

අද උදෑසන හයෙන් අවසන් වූ ගත වූ පැය 24 තුළ පුද්ගලයින් 71 දෙනෙකු නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබුණා. එම කාලසීමාවේදී පොලිස් භාරයට ගත් රථවාහන සංඛ්‍යාව 17 ක්.

එසේම, නිරෝධායන නීති කඩකරමින් උඩුදුම්බර සහ මැණික්හින්න ප්‍රදේශවල ස්ථාන දෙකක මුදලට සූදු ක්‍රීඩා කළ පුද්ගලයින් 14 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් දස දෙනෙකු තෙල්දෙනිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. අනෙක් සැකකරුවන් 04 දෙනා දඩ පනවා මුදාහැර තිබෙනවා.

මේ අතර, නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පවතින දුම්රිය ස්ථානවල දුම්රිය නතර නොකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ඇඳිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශ තුළ අත්‍යවශ්‍ය සේවාවන්වල නිරත සියලු සේවකයින්ට තම රාජකාරී හැඳුනුම්පත භාවිත කර අදාළ කටයුතුවල නිරත විය හැකි බවයි.