කොරෝනා ආසාදිතයන් 368 ක් - මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයන් 7,500 ඉක්මවයි

Saturday, 24 October 2020 - 23:15

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+368+%E0%B6%9A%E0%B7%8A+-++%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+7%2C500+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7,521 ක් ලෙස සටහන් වනවා.

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 368 දෙනෙකු වාර්තා වූ අතර, ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ආශ්‍රිත කොරෝනා පොකුර 4,050 දක්වා ඉහළ යනවා.

ඉන් 37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් ද, 24 දෙනෙකු ධීවර වරාය වලින් ද, අනූ දෙදෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ආශ්‍රිතවද, 215 දෙනෙකු ආශ්‍රිතයන් ලෙස ද වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියා.

මේ වනවිට කොරෝනා ආසාදිතයින් 3,714 දෙනෙකු සුවය ලබා ඇති අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 3,792 ක්.

මේ අතර, මෙරට 15 වන කොරෝනා මරණය ලෙස ඊයේ කුලියාපිටිය රෝහලේදී ජීවිතක්ෂයට පත්වූ ආසාදිතයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ද ඊයේ පස්වරුවේම කුලියාපිටිය පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා.

56 හැවිරිදි කුලියාපිටිය - කිතලව ප්‍රදේශයේ පදිංචි ඔහු හෘද සහ දියවැඩියා රෝගයෙන් පෙලුණු අයෙකු වන අතර, ඔහු පසුගිය 16 වනදා සිට කුලියාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.

14 වන කොරෝනා මරණය ලෙසින් වාර්තා වූ කාන්තාවගෙන් ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට සැලකෙනවා.

මේ අතර, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ කොරෝනා පොකුරට සම්බන්ධ හඳුනා නොගත් ආසාදිතයින් ඇතැම් ප්‍රදේශ ආශ්‍රිතව තවදුරටත් සිටිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළා.

එමෙන්ම, කොළඹ - පිටකොටුවේ පිහිටි මැනිං වෙළඳපොල ද නොවැම්බර් පළවනදා දක්වා වසා තැබෙන අතර, එය දෙවනදා විවෘත කෙරෙන බව එහි මැනිං වෙළඳ සංගමය ප්‍රකාශ කළා.

කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් ඉදිරි දීපාවලි උත්සව සමයේ හැටන් දික්ඔය නගර සභා සීමාවේ පදික වෙළඳාම, ජංගම වෙළඳාම සහ පිටතින් පැමිණ වෙළඳාම් කිරීම තහනම් කිරීමට හැටන් - දික්ඔය නගර සභාව තීරණය කර තිබෙනවා.

ඒ එම නගර සභාවේ ඊයේ පැවති මාසික සභා රැස්වීමේදී මන්ත්‍රීවරුන්ගේ ඒකමතික තීරණයක් ලෙසින්. එහිදී වැඩිදුරටත් තීරණය කර ඇත්තේ පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළඳපොලෙන් මසුන් රැගෙනවිත් අලෙවි කරන වෙළඳසැල් වසා දමා එහි සේවකයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමටයි.

මේ අතර, පොලිස් පාර්ලිමේන්තු කොට්ඨාශයට අනුයුක්තව සේවය කරන විශේෂ බුද්ධි ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ උප පොලිස් පරීක්ෂකවරයා මාළු මිලදී ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල වෙත ගොස් ඇති බවයි.

එසේම, ඇඹිලිපිටිය - තුන්කම ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ තුන්කම - පදලංගල - කුට්ටිගල සහ ඇඹිලිපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක පවුල් 30 ක් පමණ නිවෙස් තුලම නිරෝධායනයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබුණා.

මේ අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු සතිපොල තාවකාලිකව වසා දැමීමටද පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ඊයේ නියෝග කර තිබුණා.