තවත් ආසාදිතයින් 263ක් - පෑලියගොඩ පොකුරේ ව්‍යාප්තියට මුදල් හේතුවීදැයි සැකයක් (වීඩියෝ)

Sunday, 25 October 2020 - 19:42

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+263%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B4%E0%B7%91%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B4%E0%B7%9C%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


අද පස්වරුවේ තවත් කොරෝනා ආසාදිතයින් 263 දෙනෙකු හඳුනා ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඉන් 36 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් වන අතර, අනෙකුත් 227 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින්.

ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7,784ක්.

සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය ආසාදිතයින් සංඛ්‍යාව 89ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඊයේ දිනය තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 368 දෙනා සහ අද පස්වරුවේ වාර්තා වූ ආසාදිතයින් 263 දෙනා සමඟ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ආශ්‍රිත කොරෝනා පොකුර 4,313 දක්වා ඉහළ ගියා.

මේ අතර, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ආශ්‍රිත කොරෝනා පොකුර ව්‍යාප්තවීමට මුදල් සංසරණය වැඩි වශයෙන් හේතු වන්නට ඇති බවට සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජනතාව මුදල් සංසරණයේදී දැඩි අවධානය යොමු කළ යුතු බවයි.

මේ අතර, හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සහෝදරයාට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් සභාපතිවරයා ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

ඔවුන් පදිංචි හබරකඩ ප්‍රදේශයේ පවුල් 30 ක පමණ පුද්ගලයින් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි හෝමාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.

පසුගියදා සභාපතිවරයාගේ මව මියගොස් ඇති අතර, පසුව පැවති ඇයගේ දානමය පිංකමට අවශ්‍ය මාළු මිලදී ගැනීම සඳහා සභාපතිවරයාගේ සහෝදරයා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට පැමිණ ඇති බවටද වාර්තා වනවා.

ඉන් පසුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදීයි ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වී ඇත්තේ.

එසේම, දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

හැටන් නගරයේ කොරෝනා ආසාදිත මත්ස්‍ය ව්‍යාපාරිකයාව පරීක්ෂා කර පී.සී.ආර්. පරීක්ෂණයකට යොමුකළ වෛද්‍යවරයායි මෙලෙස ස්වයං නිරෝධායනයට යොමුකර ඇත්තේ.

මෙම ව්‍යාපාරිකයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ හැටන් නගරයේ වෙළඳසැල් වසා දැමීමට තීරණය කළ බව හැටන් - දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් ප්‍රකාශ කළා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල හා සම්බන්ධතා පැවැත්වූ මිරිහාන පොලීසියේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව පොලීසිය පැවසූ අතර, ඒ හේතුවෙන් එම පොලිස් ස්ථානය අද විෂබීජහරණය කිරීම ද සිදුකෙරුණා.

මේ අතර, කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලැබූ කොරෝනා ආසාදිත යැයි සැක සහිත පුද්ගලයෙකු පළාගොස් තිබෙනවා.

අදාළ පුද්ගලයා අද පෙරවරුවේ රෝහලේ බාහිර රෝගී අංශය වෙත ප්‍රතිකාර ලබා ගනීම සඳහා පැමිණ ඇති අතර, ඔහුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව වෛද්‍යවරයා විසින් නිර්දේශ කර ඇත්තේ රෝහලට ඇතුළත් කර පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා යොමුකරන ලෙසයි.

 ඒ සඳහා උත්සාහ කිරීමේදී අදාළ පුද්ගලයා පැනගොස් තිබුණා.

පසුව අනාවරණ කරගෙන ඇත්තේ මෙම පුද්ගලයා කළුතර සිට මතුගම දක්වා ධාවනය වූ බස් රථයක නැගී දොඩංගොඩ - රේන්දපොල දක්වා කිලෝමීටර් 05ක පමණ දුරක් ගොස් ඇති බවයි.

අනතුරුව පැනගිය පුද්ගලයා දොඩංගොඩ - රේන්දපොල මංසන්ධියේ පිහිටි සතොස ගොඩනැගිල්ලේ රැඳී සිටියදී සොයා ගත්තා.

ඔහු එම ආයතනයේ ආරක්ෂක නිලධාරියෙක් ලෙස සේවය කරන අයෙක්.

අනතුරුව ඔහුව නාගොඩ රෝහලේ ස්ථාපිත කරන ලද කොරෝනා සැක සහිත රෝගීන් සඳහා වන වාට්ටුව වෙත රැගෙන ගොස් තිබෙනවා.

ඔහු රැඳී සිටි සතොස ගොඩනැගිල්ල වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළ අතර, එහි සේවය කළ 06 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා.

මේ අතර, රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දඹාන ආදිවාසී ගම්මානය සංචාරකයන් සහ ජනතාව සඳහා තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ප්‍රකාශ කළා.

මේ අතර, අග්‍රාමාත්‍ය කාර්යාලය, අරලියගහ මන්දිරය හෝ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ සේවය කරන අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ කිසිදු නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.

ඒ අනුව, අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකුට කොරෝනා වෛරසය වැළදී ඇති බවට පැතිර යන පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති අතර, කොරෝනා ආසාදිත ආරක්ෂක අංශ නිලධාරියෙකු හමුවී ඇත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුබද්ධිත බාහිර ඒකකයකින් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

අග්‍රාමාත්‍යවරයා සහභාගි වන බාහිර උත්සවවල පූර්ව ආරක්ෂක කටයුතු පිළිබඳ සූදානම් කිරීම් වලට අදාළව පමණක් සම්බන්ධ වන එම නිලධාරියා, ඔක්තෝම්බර් 17 වනදා සිට සේවයට වාර්තා කර නොමැති බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.