මෙරට 16 වන කොරෝනා මරණය වාර්තා වෙයි

Sunday, 25 October 2020 - 23:02

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+16+%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මෙරට 16 වන කොරෝනා මරණය ඊයේ (25) වාර්තා වුණා.

කොළඹ ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 70 හැවිරිදි කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔහු පසුගිය 23 වැනිදා රුධිරයට විෂබීජයක් ඇතුළුවීම හේතුවෙන් ඇති වූ සංකූලතා මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී තිබෙනවා.

එම සංකූලතා හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මියගිය පුද්ගලයා, කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වී යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.

නව කොරෝනා ආසාදිතයින් 351 ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7,875 ක් දක්වා ඉහළ ගියා.

අලුතින් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 312 දෙනෙකු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.

එසේම නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් 36 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස ඊයේ හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව එම පොකුරුවලින් මේ වනවිට වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4,398 ක් වනවා.

මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි එක් අයෙකු සහ පිලිපීන ජාතික නාවිකයින් දෙදෙනෙකු නව ආසාදිතයින් ලෙස හඳුනාගත් අතර, ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටි අය බව සඳහන්.

එමෙන්ම, අහුංගල්ල ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයෙකුට සහ ඔහුගේ බිරිඳට කොවිඩ් 19 වෛරසය වැළදී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මෙලෙස ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇත්තේ කොළඹ නැව් තටාකාංගනයේ සේවය කරන ආසාදිත පුද්ගලයෙකුගෙන් බව විශ්වාස කෙරෙනවා.

ඔහු සහභාගි වූ ප්‍රදේශයේ අවමංගල උත්සවයකට මෙම වෛද්‍යවරයා සහ බිරිඳ සහභාගි වීම ඊට හේතුවයි.

අදාළ ආයුර්වේද මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ගැනීමට කොස්ගොඩ පොලිසීයේ නිලධාරින් දෙදෙනෙකු පැමිණි බවට තහවුරු වීමත් සමඟ ඔවුන් ඇතුළු පොලිස් ස්ථානයේ නිලධාරින් 08 දෙනෙකු හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇති බව පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ සඳහන් කළා.

එම පොලිස් ස්ථානයේ නිලධාරින් 50 දෙනෙකු ස්වයං නිරෝධායනයටද යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

කොස්ගොඩ පොලිස් ස්ථානයේ ඊයේ පස්වරුවේ විෂබීජහරණයට ලක් කිරීමෙන් අනතුරුව අවට පොලිස් ස්ථානවල නිලධාරින් යොදවා රාජකාරි කටයුතු සිදුකිරීමට පියවර ගැණුනා.

මේ වනවිට ගාල්ල ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 31 ක් වන අතර ඉන් 26 දෙනෙකු වාර්තා වන්නේ බලපිටිය ප්‍රදේශයෙන්.

එම ප්‍රදේශයෙන් වාර්තා වන ආසාදිතයින්ගෙන් 5 දෙනෙකු ධීවර වරායන්වල සේවයේ නියුතු පුද්ගලයින් බවයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

ඊයේ පස්වරු 4 න් අවසන් වූ ගෙවුණු පැය 24 ක කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 113 දෙනෙකු හඳුනාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාරා ඈපා සඳහන් කළා.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2772 ක්.

ඊයේ දිනය වනවිට එම දිස්ත්‍රික්කය තුළ පී.සී.ආර් සංඛ්‍යාව 36,216 ක් සිදුකර තිබෙනවා.

එසේම මේ වනවිට කටුනායක වෙළඳ කලාපයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 372 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, කළුබෝවිල ශික්ෂණ රෝහලේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී කොරෝනා වැළදී ඇති බවට තහවුරු වූ පුද්ගලයෙකු ව්‍යාජ ලිපිනයන් ලබාදී ඇතැයි වාර්තා වුණා.

සෙම රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට පැමිණ ඇත්තේ පසුගිය 23 වනදායි.

එම අවස්ථාවේදී රෝහල් බලධාරින් ඔහුට සඳහන් කර ඇත්තේ පී.සී.ආර් පරීක්ෂණයේ වාර්තා ලැබෙන තෙක් නිවසේ රැඳී සිටින ලෙසයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories