ඉදිරි මාස දෙක තුළ කොරෝනා මරණ ඉහළ යා හැකි බවට රජයේ වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇගවීමක් (වීඩියෝ)

Monday, 26 October 2020 - 12:38

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

පවතින තත්ත්වය හමුවේ කඩිනමින් නිවැරදි තීරණ නොගතහොත් ඉදිරි මාස දෙක ඇතුළත කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේ තම සංගමය ලබාදෙන උපදෙස් අනුගමනය කිරීමට, බලධාරීන් කල්ගත කරමින් සිටින බවයි.

මේ අතර, සියලු කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා අද සහ හෙට දිනවල ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය වසා තැබෙන බව නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල පවසනවා.

ඔහු කියා සිටියේ වසා තැබෙන දෙදින තුළදී මුළු පාර්ලිමේන්තු පරිශ්‍රයම විෂබීජහරණයට ලක් කෙරෙන බවයි.

ඒ අනුව එළැඹෙන බදාදා දිනයේදී කාර්ය මණ්ඩලය සඳහා පාර්ලිමේන්තුව යළි විවෘත කෙරෙනු ඇති.

එසේම, ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් රාජගිරිය, කැලණිය සහ කළුබෝවිල පිහිටි විශේෂ කාර්ය බලකා කඳවුරු හුදෙකලා කර ඇති අතර, දැනට ඒවායේ සේවය කරන සෙබළුන් දස දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ කඳවුරුවල සෙබළුන් මේ වනවිට කඳවුරුවලට කැඳවා ඇති අතර, මුළුතැන්ගෙය සඳහා මාළු ලබාගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට පැමිණීම හේතුවෙන් ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇතැයි සැක පළ කෙරෙනවා.

කෙසේ වෙතත්, මේ හේතුවෙන් ප්‍රභූ ආරක්ෂාව සඳහා අනෙකුත් කඳවුරුවලින් සෙබළුන් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

 මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට යළිත් වෛරසය ආසාදනය වීමේ හැකියාවක් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළා.

මේ අතර, කොළඹ ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 70 හැවිරිදි කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වූ අතර, මියගිය පුද්ගලයා, කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වී යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය මෙරට 16 වන කොරෝනා මරණය බවයි.

ඔහුගේ අවසන් කටයුතු නිරෝධායන නීතිරීතිවලට අනුකූලව අද සිදුකිරීමට නියමිතයි.

නව කොරෝනා ආසාදිතයින් 351 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7,875 ක් දක්වා ඉහළ ගියා.

අලුතින් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 312 දෙනෙකු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.

එසේම නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් 36 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස ඊයේ හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව එම පොකුරුවලින් මේ වනවිට වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4,398 ක් වනවා.

මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි එක් අයෙකු සහ පිලිපීන ජාතික නාවිකයින් දෙදෙනෙකු නව ආසාදිතයින් ලෙස හඳුනාගත් අතර, ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටි අය බව සඳහන්.

ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 159 දෙනෙකුම කොළඹින් වාර්තා වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

නාරාහේන්පිට, සීදුව සහ මිරිහාන පොලීසිවල නිලධාරීන් තුන් දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළා.

කොරෝනා ආසාදිත කඩවත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු දින 03 ක කාලයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් රැසකට ගමන් කර ඇතැයි වාර්තා වනවා.

ඔහු ලොරි රථයකින් කඩවත සිට දඹුල්ලට පැමිණ තිබෙනවා.

ඔහුගේ පී.සී.ආර්. පරීක්ෂණය සිදුකර නිවසේ රැඳී සිටින ලෙස උපදෙස් ලබාදී තිබියදීයි ඔහු මෙලෙස දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ගොස් ඇත්තේ.

මේ අතර, කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ එම ආසාදිතයා සැරිසැරූ හැටන් මහජන වෙළඳපොල තවදුරටත් වසා දමා ඇති අතර, ඊයේ වසා දැමුණු නගරයේ අනෙකුත් වෙළඳසැල් අද විවෘත කෙරුණා.

එමෙන්ම, කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු 49 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමෙන් අනතුරුව එම පොලිස් ස්ථානය ඊයේ රාත්‍රියේ විෂබීජහරණය කළා.

පසුව නව පොලිස් කණ්ඩායමක් එහි රාජකාරී කටයුතු සඳහා යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

තාවකාලිකව වසා දැමුණු පිටකොටුව මැනිං වෙළඳපොල අද දිනයේදී සම්පූර්ණයෙන්ම විෂබීජහරණයට ලක් කළා.

ඒ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් අනුවයි.

අහුංගල්ල ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයෙකුට සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ අතර, පොලිසියේ දෙදෙනෙකු එම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට යාම හේතුවෙනුයි මෙලෙස ඔවුන් නිරෝධානයට ලක් කෙරුණේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories