කොරෝනා එන්නත ලෝකවාසීන්ට සමානව හිමිවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

Monday, 26 October 2020 - 12:45

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B7%80+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොරෝනා වෛරසයට එරෙහි සාර්ථක එන්නතක් ඉදිරිපත් කිරීමේදී ලෝක ජනතාව උදෙසා සහෝදරත්වයෙන් කටයුතු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබිරයේසස් ප්‍රකාශ කළා.

ජර්මනියේ - බර්ලින් නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සමුළුව වීඩියෝ මාර්ගයෙන් අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ගෝලීය වසංගතයෙන් මිදීමට හැකි එකම මඟ එක්ව කටයුතු කිරීම සඳහා දුප්පත් රටවලට කොවිඩ් එන්නතක් සඳහා සාධාරණ ප්‍රවේශයක් ලබාදීම බවයි.

එන්නත් නිෂ්පාදනය කරන රටවලට තම පුරවැසියන් ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවක් පවතින නමුදු එය සියලු රටවල සියල්ලන්ට ලබාදීම වසංගතය මැඩපැවැත්වීමේ සාර්ථක මඟ බව ඔහු අවධාරණය කළා.

මේ වනවිට ලොව රටවල් රැසක විද්‍යාඥයන් කොවිඩ් 19 එන්නතක් සංවර්ධනය කිරීමේ නිරතව සිටින අතර, එන්නත් 10 ක් පමණ 3 වන අදියරේ පෙරහුරු පරීක්ෂාවන්ට ලක් කෙරෙනවා.

කෙසේ නමුත්, කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නතක් නිෂ්පාදනය කළ පසු සියලුම ඉන්දියානුවන්ට එය නොමිලේ ලබා දෙන බව ඉන්දීය රජයේ අමාත්‍යවරියක ප්‍රකාශ කළා.

අමාත්‍ය ප්‍රතාප් සාරංගි මේ බව කියා සිටියේ එම එන්නත දේශපාලනීකරණය කරන බවට විපක්ෂයෙන් එල්ල වන චෝදනාවලට පිළිතුරු ලබාදෙමින්.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මැතිවරණය නුදුරු දිනකදී පැවැත්වීමට නියමිත අතර, පාලක භාරතීය ජනතා පක්ෂය ප්‍රකාශ කළේ සියලුම බිහාර් වාසීන්ට කොවිඩ් එන්නත නොමිලේ ලබාදෙන බවයි.

කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නත් කිහිපයක් ඉන්දීය විද්‍යාඥයන් විසින් මේ වනවිට සංවර්ධනය කරමින් පවතින බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගියදා ප්‍රකාශ කළා.

මේ අතර, ඇමරිකාව කොරෝනා වෛරස් ගෝලීය වසංගතය පාලනය නොකරන බව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී මාර්ක් මෙඩෝස් ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ එය ප්‍රතිශ්‍යාව වැනි පහසුවෙන් බෝවන රෝගයක් බවයි.

එය මෙවර ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඞ්න් කඳවුරේ දැඩි විවේචනයට ලක්වූ අතර, උප ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස් කියා සිටියේ එම ප්‍රකාශය මගින් ට්‍රම්ප් පරිපාලනය පරාජය පිලිගෙන ඇති බවයි.

ඔවුන් කොරෝනා වසංගතය පාලනය කිරීමට අසමත් බව ජෝ බයිඩ්න් ආරම්භයේ සිට ප්‍රකාශ කළේයැයි ඇය සිහිපත් කළා.

කෙසේ නමුත්, වෛරසය මැඩපැවැත්වීමට පියවර ගන්නා බව ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානියා විවේචන හමුවේ සඳහන් කළා.

කොරෝනා වෛරසයෙන් දැඩිව පීඩාවට පත්වූ රට වන ඇමරිකා එක්සත් ජනපදයේ ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට අසූඅට ලක්ෂ 89,000 ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව දෙලක්ෂ 30,000 කට අධිකයි.