බ්ලූමැන්ඩල් සංඛගේ බිරිඳ සහ ඥාති පුත්‍රයා, රදවාගෙන ප්‍රශ්න කෙරේ - ලක්ෂ 200 ක් ගිණුම්වල හුවමාරු වූ බවටත් තොරතුරු (වීඩියෝ)

Monday, 26 October 2020 - 12:56

%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B7%83%E0%B7%84+%E0%B6%A5%E0%B7%8F%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%2C+%E0%B6%BB%E0%B6%AF%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+-+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+200+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රණසිංහ ආරච්චිගේ සංඛ ශිරන්ත හෙවත් බ්ලූමැන්ඩල් සංඛගේ බිරිඳ වන නිල්මිණී ප්‍රියදර්ශනී සහ ඥාති පුත්‍රයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද(26) අවසර ලබා දුන්නා.

උස්වැටකෙයියාව - පුබුදුගම ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව අධි සුඛෝපභෝගි ජිප් රථයකින් ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී ජිප් රථය පැදවූ පුද්ගලයා පලාගොස් ඇති අතර, අත්අඩංගුවට ගත් බ්ලූමැන්ඩල් සංඛ ගේ බිරිඳ සතුව එම අවස්ථාවේ තිබූ හෙරොයින් ග්‍රෑම් 10 ක් සහ රුපියල් 60,000 ක මුදලක් සොයා ගෙන තිබෙනවා.

පසුව, සැකකාරියගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී හෙරොයින් ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකුගේ හේනමුල්ල මහල් නිවාස සංකීර්ණයේ නිවහනක තිබී මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයා ගන්නා ලද රුපියල් ලක්ෂ 20 ක මුදලක් සොයා ගෙන තිබෙනවා.

තවදුරටත් සිදුකරන ලද විමර්ශනවලදී කොළඹ - 15 - මිහිජය සෙවණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 2 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව සඳහන්.

ඔහු බ්ලූමැන්ඩල් සංඛගේ ඥාති පුත්‍රයෙකු බවට පසුව අනාවරණ වූ අතර, ඔවුන් දෙදෙනාම අද අලුත්කඬේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

මෙහි ප්‍රධාන ජාවාරම්කාරිය වන බ්ලූමැන්ඩල් සංඛගේ බිරිඳගේ ගිණුම්වල තිබූ රුපියල් ලක්ෂ 200 ක පමණ මුදලක් පසුගිය කාලසීමාව තුලදී හුවමාරු වී ඇති බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

මේ අතර, බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව කල්බදු ගෙවීමේ පදනම මත වාහන ලබාගෙන ඒවායේ චැසි හා එන්ජින් අංක වෙනස් කර විකුණූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුවන්වැල්ල සහ ඉඹුල්ගොඩ ප්‍රදේශවල පදිංචි සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී ව්‍යාජ ලෙස එන්ජින් සහ චැසි අංක සකස් කර විකුණූ ත්‍රිරෝද රථ 3 ක් සහ ලොරි රථයක තොරතුරු අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම, හබරාදුව සහ යක්කලමුල්ල ප්‍රදේශවලදී ගිනි අවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.