අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියො හෙට දිවයිනට

Monday, 26 October 2020 - 18:53

%E0%B6%85%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%9C+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7


දෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියො හෙට දිවයිනට පැමිණිමට නියමිතයි.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ඇරයුමකට අනුව හෙට දිවයිනට පැමිණෙන අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ජනාධිපතිවරයා, සහ අගමැතිවරයා හමුවනු ඇති.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ දකුණු සහ අග්නි දිග කලාපීය සංචාරය අරඹමින් අද පෙරවරුවේ ඉන්දියාවට පැමිණියා.

නවදිල්ලි නුවර පාලම් ගුවන්තොටුපලට පැමිණි රාජ්‍ය ලේකම්වරයා සහ ඔහුගේ බිරිඳ පිළිගනු ලැබුවේ ඉන්දියාවේ අමෙරිකානු තානාපති කෙනත් ජස්ටර් විසින්.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී මිසයිල සහ ත්‍රස්ත ක්‍රියා අධ්‍යනය, නිරීක්ෂණය, ජාතික ආරක්ෂාවට වැදගත් වන සංවේදී අමෙරිකානු අභ්‍යාවකාශ චන්ද්‍රිකා දත්ත ලබා දීම වැනි කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවයි.

සිය සංචාරයේදී පොම්පියෝ මාලදිවයින, සහ ඉන්දුනීසියාව යන රටවල ද සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් අමෙරිකානු ආරක්ෂ අංශ, මාධ්‍යවේදීන් සහ සත්කාරක නිලධාරීන් රැගත් අමෙරිකානු ගුවන් හමුදාවට අයත් RCH 1815 දරණ ගුවන් යානය පසුගිය 23 වැනිදා මෙරටට පැමිණියා.

කටාර් ගුවන් සේවයේ QR 668 දරණ ගුවන් යානයෙන් තවත් අමෙරිකානු නිලධාරීන් 13 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලින් මෙරටට පැමිණියේ පසුගිය  24 වනදායි.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියො මෙරට සිදු කරන සංචාරයේදි දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී විවිධ අංශ ඔස්සේ පවතින සබඳතා පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇති.

එමෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධුර කාලය තුළ මෙරටට පැමිණෙන ඉහළ මට්ටමේ අමෙරිකානු රාජ්‍ය නිලධාරියා වන්නේද මයික් පොම්පියෝයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට සංචාරය නිමා කරමින් අනිද්දා මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතයි.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් අමෙරිකානු ආරක්ෂ අංශ, මාධ්‍යවේදීන් සහ සත්කාරක නිලධාරීන් රැගත් අමෙරිකානු ගුවන් හමුදාවට අයත් යානය මෙරටට පැමිණි පුද්ගලයින් නිවැරදි ලෙස නිරෝධායන නිතීරිති යටතේ මෙරටට පැමිණි යේද දැයි රජය ප්‍රකාශ කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

සෝපා ගිවිසුම සහ MCC ගිවිසුම් අත්සන් කිරිම සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණෙන බවයි සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලි චම්පික රණවක අද පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් කියා සිටියේ.

කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි කියා සිටියේ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විශේෂ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා මෙරටට නොපැමිණෙන බවයි.

මේ අතර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ද ඊට අදාළව නිවේදනයක් නිකුත් කර තිබූ අතර, එහි සඳහන් වුණේ ඇමරිකාව සමග ද්වීපාර්ශවික සබඳතා පවත්වා ගෙන යා යුතු නමුත්, පිබිදෙන ආසියාව සමඟ ශ්‍රී ලංකාව ද ආර්ථික සංවර්ධනය ළඟා කර ගත යුතු බවයි.