කොරෝනා තවමත් සමාජ ගත වි නැතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි (වීඩියෝ)

Monday, 26 October 2020 - 19:21

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කොරෝනා වෛරසය ශ්‍රි ලංකාව තුළ සමාජගතවීමක් තවමත් සිදුව නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ආශ්‍රිතව හටගත් කොරෝනා පොකුර මේ වනවිට මනාව පාලනය කර ඇති බවයි.

වැඩිහිටි සහ නිදන්ගත රෝග සහිත පුද්ගලයින් කොරෝනා වෛරසයට ගොදුරු වුවහොත් එය අවදානම් තත්ත්වයක් බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කුඩා දරුවන් 07 දෙනෙකුට සහ මව්වරුන් තුන් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ පසුගිය 24 වනදා සිට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මෙම කොරෝනා වෛරස් ආසාදිතයින් හමුවූ බවයි.

මීට පෙර ද එම රෝහලෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ කුඩා දරුවන් දෙදෙනෙකු සහ පියෙකු හඳුනා ගනු ලැබුවා.

මේ අතර, නුවරඑළිය, කොටගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදිතයින් තුන්දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

එසේම, දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් ගම්මාන කිහිපයක පදිංචි පුද්ගලයින් 08 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් 07 දෙනෙකු කාත්තන්කුඩි නිරෝධායන මධ්‍යස්ථානයටත්, අනෙක් පුද්ගලයා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලටත් පිටත්කර හැරුණා.

මෙම ආසාදිතයින්ගෙන් 07 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සමඟ ඍජු සබඳතා පැවැත් වූ ව්‍යාපාරිකයින් වන අතර, අනෙක් ආසාදිතයා මීට පෙර වෛරසය ආසාදනය වූ මාළු ව්‍යාපාරිකයෙකුගේ බිරිඳක්.

කළුතර උතුර සහ කළුතර දකුණ ප්‍රදේශවල පෙරේදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 60ක ප්‍රතිඵල වාර්තා ඊයේ ලැබී තිබූ අතර, ඒ අතරින් දස දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ කොරෝනා වෛරස් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීමත් සමඟ ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා ගැනීමේ බරපතල ගැටළුවකට තම සංගමයේ සාමාජිකයින් මුහුණ දී ඇති බවයි.

මේ අතර, මෙරට 16 වන කොරෝනා මරණය වාර්තා කරමින් කොළඹ ජාතික රෝහලේදී ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ අවසන් කටයුතු නිරෝධායන නීතිරීතිවලට අනුකූලව අද බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

මේ අතර, හම්බන්තොට ධීවර වරායේ ධීවරයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හම්බන්තොට ධීවර වරාජයට සහ හම්බන්තොට නගරයට ඇතුළුවීමේදී දැඩි සංචරණ සීමා පනවා ඇති බව හිරු වාර්තාකරු සඳහන් කළා.

එසේම, බේරුවල ධීවර වරායේ යාත්‍රා තුළ මේ වනවිට මාළු තොග විශාල වශයෙන් රඳවා තිබෙන අතර, ඒවා රැගෙන යාමට අද පෙරවරුවේ ධීවර යාත්‍රා හිමියන් පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ඒ, එම මාළු තොග අදත් මුදා නොහැරීම හේතුවෙන්. පසුව බේරුවල ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේ මෑතකදී කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් වරාය පරිශ්‍රයට කිසිවෙකුටත් ඇතුළුවීමට ඉඩදිය නොහැකි බවයි.

මේ අතර, කිරිවත්තුඩුව - තාරකා සෙවණ ප්‍රදේශයේ නිවාස 18 ක ස්වයං නිරෝධායනයට යොමුකර සිටි පිරිසකට පී.සී.ආර්. පරීක්ෂණ සඳහා කිලෝමීටර් 14 ක පමණ දුරින් පිහිටි හොරණ ප්‍රදේශයට පැමිණෙන ලෙස දැනුම් දී ඇති පුවතක් වාර්තා වුණා.

ඒ අනුව එම නිවාසවල වෙසෙන පිරිස් විවිධ ප්‍රවාහන මාධ්‍යයන් භාවිත කරමින් අදාළ ස්ථානයට පැමිණ තිබුණා.