දරු ප්‍රසූතියක් සිදුකළ රත්නපුරේ මවකට කොරෝනා - කුඩාවැල්ලේ දින 21ක් වයසැති කුඩා දරුවෙකුගේ මවකට ද වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවෙයි (වීඩියෝ)

Thursday, 29 October 2020 - 19:35

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%96%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+-+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+21%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තුවේ පිවිසුමේ ආරක්ෂක නිලධාරීන් හතරදෙනෙකුට සහ කම්කරු අමාත්‍යාංශයේ රියදුරෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටි ආපනශාලාව පවත්වාගෙන යන පුද්ගලයා පසුගියදා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලට ගොස් ඇති අතර, ඔහු හරහා මොවුන්ට වෛරසය ආසාදනය වන්නට ඇති බවටයි සැක කරන්නේ.

ආපනශාලා හිමියා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කර ඇති නමුත් ඔහු ආසාදිතයෙකු නොවන බවට හෙළිවී තිබෙනවා.

කෙසේ වෙතත් නිරෝධායනයට ලක් කර තිබූ අවස්ථාවේදී එම පුද්ගලයාට ආහාරපාන සපයා දී ඇත්තේ අදාළ රියදුරා විසින්.

වෛරසය ආසාදනය වූ ආරක්ෂක නිලධාරීන් හතරදෙනා එම රියදුරාගේ ආශ්‍රිතයින් ලෙසට සැක කරනවා.

මේ අතර රත්නපුර මහරෝහලේ දරු ප්‍රසූතිය සිදුකළ මවකට කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ (28) තහවුරු වුණා.

ඒ අනුව අදාළ මවට සිසේරියන් සැත්කම සිදුකළ එම රෝහලේ වෛද්‍යවරයන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් මෙන්ම විකිරණ ඒකකයේ පිරිස් ද නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා කොළඹ වරායේ පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරියෙකු වන අතර ඔහුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, දරුවා සෞඛ්‍යාරක්ෂිතව නිරෝගී තත්ත්වයෙන් පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

එමෙන්ම, අද දිනයේ රත්නපුර - ඇහැලියගොඩ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 08 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයෙන් මේ වන විට වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් ඇති බවයි සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර කියා සිටියේ.

මේ අතර, තංගල්ල - කුඩාවැල්ල ප්‍රදේශයේ දින 21ක් වයසැති කුඩා දරුවෙකුගේ මවකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වීමත් සමඟ බිළිදා ද සමඟ ඇය  මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඇය කිරිබත්ගොඩ ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගත් ඥාති නිවසක සතියක පමණ කාලයක් නැවතී සිට පැමිණ තිබීම හේතුවෙන් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකට අනුවයි ඇය ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත්තේ.

මේ අතර කඩවත - වැවහේනවත්ත පාරේ නිවසක කාන්තාවක් කොරෝනා රෝගියෙකු බවට තහවුරු වීමෙන් පසු අද පෙරවරුවේ මහර සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී කාර්යාලයේ නිලධාරීන් ඇය රැගෙන යාමට නිවසට පැමිණි අවස්ථාවේ එම කාන්තාවගේ පුත්‍රයා ඊට දැඩි ලෙස විරෝධය පළ කළ අතර කඩවත පොලීසියේ නිලධාරීන්ට ද ඔහු බැන වැදුණා.

කෙසේ වෙතත්, කඩවත පොලීසියේ ස්ථානාධිපතිවරයා කරුණු පැහැදිලි කර දීමෙන් පසු ඔහු සිය මව රැගෙන යාමට ඉඩ ලබාදුන් බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළට සහ බේරුවල වරායට පැමිණි ගාල්ල - කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචි මත්ස්‍ය ව්‍යාපාරිකයින් 3 දෙනෙකු ද ආසාදිතයින් ලෙස අද තහවුරු වී තිබෙනවා.

එමෙන්ම, ඇල්පිටිය - පිටිගල - මැටිවිලිය ප්‍රදේශයේ පදිංචි කොළඹ මහ නගර සභාවේ ඩෙංගු මර්දන ඒකකයේ සේවය කරන පුද්ගලයෙකුට ද වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහු ඩෙංගු මර්දන ඒකකයේ සේවයට අමතරව පසුගිය දිනවල කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ස්ථානවල විෂබීජ හරණ කටයුතුවලට එක්වූ අයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.  

මාතලේ - ලග්ගල ප්‍රාදේශීය රෝහලට අනුයුක්තව සේවය  කරන වෛද්‍යවරයෙකු සහ හෙදියන් 05 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව ලග්ගල ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අභිෂේක් සංකල්ප ප්‍රකාශ කළා.

කොරෝනා ආසාදිත එම එක් හෙද නිලධාරිනියකගේ ස්වාමි පුරුෂයා ද කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වී ඇති අතර, ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ආරක්ෂක අංශ සාමාජිකයෙකු බවටයි හෙළි වී ඇත්තේ.

හුංගම - කලමැටිය ප්‍රදේශයේ නිවාස නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඊයේ පස්වරුවේ අදාළ ආසාදිතයා කලමැටිය - ධීවර වරායට ගොස් ඇති බැවින් මසුන් මිලදී ගැනීමට සහ එහි පැමිණි සියළු පුද්ගලයින් වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත හෝ හුංගම පොලීසියට තොරතුරු ලබාදෙන ලෙස හුංගම පොලීසිය ඉල්ලීමක් කරනවා.

මේ අතර හෙටට යෙදෙන වප් පොහෝ දිනය නිමිත්තෙන් ආගමික වැඩසටහන් සංවිධාන කිරීමේදී නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවලද පුද්ගලයින් සංඛ්‍යාව 50කට සීමා කරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම ඉල්ලීමක් කළා.

එමෙන්ම, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පවතින තත්වය සළකා නැවත දැනුම් දෙනතුරු බස්නාහිර පළාතේ සියලුම මුස්ලිම් පල්ලි වසා දැමීමට තීරණය කළ බවයි.

එසේම නැවත දැනුම් දෙනතුරු නුවරඑළිය ප්‍රදේශයට විනෝද චාරිකා පැමිණීමෙන් වළකින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

නුවරඑළිය නගරයේ පිහිටි වික්ටෝරියා උද්‍යානය සහ ග්‍රෙගරි වැව උද්‍යානය මෙන්ම සඳතැන්න ඇතුලු සංචාරක ස්ථාන කිහිපයක්ම මේ වනවිටත් වසා දමා ඇති බවයි ඔහු කියා සිටියේ.