ඇඳිරි නීතියට පෙර බස්නාහිර පළාතෙන් ගිය අය සොයා මෙහෙයුමක් (වීඩියෝ)

Friday, 30 October 2020 - 10:34

%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කළ පසු බස්නාහිරින් පැන ගිය පුද්ගලයින් සොයා මෙහෙයුමක්

බස්නාහිර පළාතට ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එම පළාතින් බැහැරට ගිය පුද්ගලයින් සොයා පොලීසිය මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.

ඒ අනුව බස්නාහිර පළාතෙන් පිට පළාත්වල ලැගුම්හල්, නවාතැන්පලවල් ඇතුලු විවිධ ස්ථාන මේ වනවිටත් පරීක්ෂා කරමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතටම නිරෝධායන නීතිය පැනවූ අතර, කුලියාපිටිය කොට්ඨාසයේ පොලිස් බල ප්‍රදේශ 5 කටද ඇඳිරි නීතිය මේ වනවිට ක්‍රියාත්මකයි.

මේ හේතුවෙන් එම ප්‍රදේශ දැඩි පාළු ස්වභාවයක් ගෙන ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

වප් පොහොය මෙන්ම නබිනායකතුමන්ගේ උපන් දිනය අදට යෙදී තිබුණද ඇඳිරි නීතිය පැනවීම නිසා බස්නාහිර පලාතේ බොහෝ මුස්ලිම් පල්ලිවල සැමරුම් උත්සව පැවැත්වුණේ නැහැ.

එමෙන්ම නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල බොහෝ විහාරස්ථානද වසා දමා තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඇඳිරි නීතිය නොමැති ප්‍රදේශවල විහාරස්ථාන වෙත ජනතාව ඒකරාශි වී සිටින ආකාරයක් දක්නට ලැබුණු අතර, ජනතාව සහභාගිවීමේ යම් අඩුවක්ද තිබූ බවයි වාර්තාවූයේ.

එමෙන්ම එලෙස පැමිණි ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ආකාරයක්ද දක්නට ලැබුණා.

මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලට ඇතුලුවන සීමාවන්වල පොලිස් මාර්ග බාධක යොදා තිබූ අතර, එහිදී පැමිණෙන වාහන දැඩි පරීක්ෂාවන්ට ලක් කෙරුණා.

එමෙන්ම ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩකළ 24 දෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟ, මේ දක්වා කාලසීමාව තුළ එලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1,259 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව  178 ක්.

මේ අතර උසස් පෙළ විභාගය හෙට දිනයේදී යළි ආරම්භවීමට නියමිතව ඇති අතර, සිසුන්ට මෙන්ම කාර්ය මණ්ඩලයටද අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නිසි පරිදි සළසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව කියාසිටියා.

නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල විභාග මධ්‍යස්ථාන 638 ක් පැවතියද ඊට පැමිණෙන සිසුන්ට ඇඳිරි නීතිය බාධාවක් නොවන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේ.

මේ අතර යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් සහ සෙසු නිලයන් මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සඳහා කොළඹ යුද හමුදා රෝහල මගින් නිකුත් කෙරෙන ඖෂධ පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ ආසන්නතම යුද හමුදා කඳවුරෙන් ලබාගැනීමට පහසුකම් සළසා තිබෙනවා.

යුද හමුදා මූලස්ථානය සඳහන් කළේ ඒ සඳහා ළඟම ඇති යුද හමුදා කඳවුරට සිය තොරතුරු ලබාදීම සිදුකළ යුතු බවයි.   

කෙසේ වෙතත් ඊයේ දිනයේ සිට බස්නාහිර පළාතෙන් පිටව යන සෑම ස්ථානයකම පොලිස් නිලධාරීන් විසින් විශේෂ පරීක්ෂා කිරීම් සිදුකර ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද උදෑසන හිරු TV පත්තරේ විස්තරේ වැඩසටහන සමග සජීවීව එක්වෙමින්.