බස්නාහිර පොලිස් නිලධාරීන් 43කුත් ආසාදිතයින් වෙයි (වීඩියෝ)

Friday, 30 October 2020 - 12:42

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+43%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් 43 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ තවත් 893 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළ රඳවා සිටින බවයි.

මේ අතර කොළඹ අපරාධ කොට්ඨාශයේ තවත් පොලිස් නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව එම කොට්ඨාශයෙන් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදනය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 16 දක්වා ඉහළ යනු ඇති.

මීට අමතරව තවත් 5 දෙනෙකු ඊයේ දිනයේදී සැක සහිත රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

කොළඹ අපරාධ කොට්ඨාශයේ කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ නිලධාරියෙකු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ සේවයේ නියුතු වී ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.

එම නිලධාරියා කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම් කටයුතු පැවැත්වෙන ශාලාවට ද පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් එම කොමිසමේ වැඩ කටයුතු මෙන්ම ඊට ආසන්නයේ ක්‍රියාත්මක වන දේශපාලන පළි ගැනීම් පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසමේ ද වැඩ කටයුතු තාවකාලිකව නතර කර ඇති බවයි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පොලිස් ඒකකයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ අතර, කොරෝනා ආසාදනය වී ඇති තම සැමියා රෝහල් ගතකිරීමට සෞඛ්‍ය බලධාරීන් නොපැමිණි බවට කාන්තාවක් චෝදනා කරනවා.

කඩුවෙල - ඉහළ බෝමිරිය - කිරිපට්ටිය ප්‍රදේශයේ පදිංචි ඇය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මසුන් මිලදී ගැනීම සඳහා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට ගිය තම සැමියාට කොරෝනා ආසාදනයවී ඇති බවට පසුගියදා තහවුරු වී ඇති බවයි.

ඔහුව මෙතෙක් රෝහල් ගතකිරීමට කිසිවෙකු නොපැමිණීම නිසා තම සැමියාට නිවසේ ඇති ත්‍රිරෝද රථයේ රාත්‍රී කාලය ගත කිරීමට සිදුව ඇති බවද ඇය කියා සිටියා.