කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟළුම් කර්මාන්තශාලාවක සේවිකාවකට ද කොරෝනා - සමස්ත ආසාදිතයින්ගෙන් ආසාදිතයන් 04ක් දැඩි සත්කාර ඒකකවල (වීඩියෝ)

Friday, 30 October 2020 - 19:27

%E0%B6%9A%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B6%9F%E0%B7%85%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+-+%E0%B7%83%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+04%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B7%80%E0%B6%BD+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කුරුණෑගල මහනගර සභාවේ කම්කරුවන් හයදෙනෙකුට සහ මත්ස්‍ය වෙළඳසැල් පවත්වාගෙන ගිය දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ ප්‍රදේශ 3කට සංචරණ සීමා පනවා තිබෙනවා.

කුරුණෑගල මහනගර සභා බල සීමාවට අයත් විල්ගොඩ, අම්මාන්කෝවිල සහ ගල්වල යන ප්‍රදේශ වලට මෙලෙස සංචරණ  සීමා පනවා ඇති බවයි කුරුණෑගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

පවතින තත්ත්වය මත කුරුණෑගල නගරයේ වෙළඳසැල් ද වසා දමා ඇති අතර, නගරය මේ වන විට පාළු ස්වභාවයක් ගෙන ඇති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු පුෂ්පකුමාර ජයරත්න සඳහන් කළේ.

මේ අතර, කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවිකාවකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමඟ ඇගේ ආශ්‍රිතයන් 125 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.

ඊට ඇඟළුම් සේවිකාව රත්ගම සිට කොග්ගල ඇඟළුම් කම්හල දක්වා ගමන් කළ බස් රථයේ රියදුරු ද වනවා.

අදාළ සේවිකාව පසුගිය දිනක ඇතිවූ රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා තවත් සේවිකාවක් සමඟ ගාල්ල මහ මෝදර රෝහලට පැමිණ ඇති අතර, එහිදියි ඔවුන් දෙදෙනා අහඹු පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇත්තේ.

ඒවායේ වාර්තා ඊයේ (29) පස්වරුවේ ලැබී තිබූ අතර, එමගින් එක් සේවිකාවක් කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු කර ගැනුණා.

ආයෝජන මණ්ඩලය නිවේදනය කළේ පසුගිය 08 වන දා සිට 28 වන දා දක්වා කාලය තුළ ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක කර්මාන්තශාලා තුළ පමණක් පී.සී.ආර්. පරීක්ෂණ 26,500කට වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති බවයි.

එහිදී ආසාදිතයින් 423 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් 411 දෙනෙකු කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයෙන් හඳුනාගෙන ඇති බව ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වුණා.

ගාල්ල - තෙලිකඩ - හොරගම්පිටිය ප්‍රදේශයේ පදිංචි විෂබීජනාශක අලෙවි කිරීමේ නිරතවූ අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග ඔහුගේ ආශ්‍රිතයන් 21 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබෙනවා.

ඒ අතර භික්ෂූන් වහන්සේ සිව් නමක්ද වන බවයි පොලීසිය සඳහන් කළේ.

ආසාදිත පුද්ගලයා අලුත්ගම ප්‍රදේශයට ගොස් මත්ස්‍ය ව්‍යාපාරිකයන්ට අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක්ද සිදුකර ඇති අතර, එහිදී ඔහුට වෛරසය ආසාදනය වන්නට ඇති බවටයි සැක කරන්නේ.

මොහු සේවය කළ ආයතනය අක්මීමන - පින්නදූව ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් ඇති අතර, එහි හිමිකරු සහ සේවකයින් තුන්දෙනෙකුද මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මේ අතර, ගාල්ල - ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණවලින් තවත් කොරෝනා ආසාදිතයන් හතරදෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඔවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් මාළු මිලදී ගත් අය බවට හෙළි වුණා.

කොරෝනා මර්දන කටයුතු සිදුකළ කොළඹ මහනගර සභාවේ ජින්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණේ ඔවුන්ට ඇතිවූ රෝග ලක්ෂණ මත සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදියි.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව මේ වන විට 16 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 43 දෙනෙකු ආසාදිතයින් බවට පත්ව ඇති බවයි.  

කඩුවෙල - නවගමුව - වෑක්කවත්ත පාරේ පෞද්ගලික ආයතනයක සේවකයින් 80 දෙනෙකු එම ස්ථානයේම නිරෝධායනයට යොමු කෙරුණේ එම ආයතනයේ 29 දෙනෙකුට කොරෝනා වැලදී ඇති  බවට තහවුරු වීම හේතුවෙන්.

මේ අතර කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්ද අද (30) නව ආසාදිතයන් අටදෙනෙකු වාර්තාවීමත් සමඟ එම ප්‍රදේශයෙන් වාර්තාවන මුලු ආසාදිත සංඛ්‍යාව 72 දක්වා ඉහළ ගියා.

අද වාර්තාවූ නව ආසාදිතයන් අටදෙනා අතර දෙදෙනෙකු පොලිස් නිලධාරීන් වන අතර, එම එක් නිලධාරියෙකුගේ බිරිඳ කුලියාපිටිය මූලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කරන අයෙකු බවයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උත්පල සංකල්ප සඳහන් කළේ.

මේ හේතුවෙන් කුලියාපිටිය මූලස්ථාන පොලීසියේ සියලුදෙනාගේ පී සී ආර් පරීක්ෂණ අද සිදුකළා.

එමෙන්ම තලවකැළේ - පූඩළුඔය, වටගොඩ සහ කොත්මලේ යන ප්‍රදේශවලින් කොරෝනා ආසාදනය වූ රෝගීන් කිහිප දෙනෙකු හමුවීමත් සමඟ පූඩළුඔය නගරයට පුද්ගලයින්ට පැමිණීම මේ වන විට සීමා කර තිබෙනවා.

මේ අතර, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සැරයන්වරයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ සැරයන්වරයා පසුගිය 24 වන දායින් පසු සේවයට පැමිණ නොමැති බවයි.

නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු එම ප්‍රදේශයේදී පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇති අතර, එමගින් ඔහු ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමඟ රිමාන්ඞ් බන්ධනාගාරය තුළ ඔහු සමඟ රාජකාරී කළ තවත් පුද්ගලයෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

අද දිනයේදීත් කොරෝනා ආසාදිතයින් 140 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සමස්ත සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 4282 දක්වා ඉහළ ගියා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ තවත් පුද්ගලයින් 5490 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

දැනට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9791ක්.

කෙසේ වෙතත්, කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ලැබීමේ ප්‍රමාදයක් තවදුරටත් දක්නට ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියා.

එමෙන්ම, කොරෝනා ආසාදිත රෝගීන් රෝහල් ගත කිරීමේ යම් ප්‍රමාදයක් පවතින බවට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තොරතුරු වාර්තාවීම සම්බන්ධයෙන් අද (30) පස්වරුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් ප්‍රශ්න කළා.

එහිදී රෝගීන් කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය පැහැදිළි කළ ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ 1999 ක්‍ෂණික ඇමතුම් අංකයට එවැනි ගැටළු සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කළේ මේ මොහොත වනවිට දිවයින පුරා දැඩි සත්කාර ඒකකවල ඇදන් 630 කට වැඩි ප්‍රමාණයක ඉඩකඩ පවතින බවයි.

දැඩි සත්කාර ඒකකවල දැනට ප්‍රතිකාර ලබන්නේ රෝගීන් හතරදෙනෙකු පමණක් බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.