20 වන කොරෝනා මරණය වාර්තා වෙයි (වීඩියෝ)

Saturday, 31 October 2020 - 9:41

20+%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මෙරට සිදුවූ 20 වන කොරෝනා මරණය අද කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වුණා.

මෙලෙස මිය ගොස් ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුගිය 29 වන දා රෝහල් ගත වී ඇති ඇය නිධන්ගත රෝගවලින් පෙළෙමින් සිට තිබෙනවා.

ඊයේ මිය යාමෙන් පසු සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ මෙම කාන්තාවට කොරෝනා වැළදී ඇති බවයි.

අවසන් වරට වාර්තා වූ කොරෝනා මරණ 3ම සිදුවූයේ කොළඹ ජාතික රෝහලෙන් වන අතර එහි විශේෂත්වය වන්නේ කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමකින් තොරව එම මරණ සිදුවීමයි.

මේ අතර, ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 633 දෙනාගෙන් වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුවී තිබෙනවා.

එම සංඛ්‍යාව 264ක් වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 162 නෙකු, කළුතරින් 18 දෙනෙකු, කුරුණෑගලින් 17 දෙනෙකු, කෑගල්ලෙන් 11 දෙනෙකු, රත්නපුරෙන් 5 දෙනෙකු, ගාල්ලෙන් 5 දෙනෙකු සොයා ගැනුණා.

එමෙන්ම, අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් දෙදෙනෙකු සහ බදුල්ල, හම්බන්තොට, මාතර දිස්ත්‍රික්කවලින් ආසාදිතයෙකු බැගින් ඊයේ වාර්තා වූ බවයි කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඊයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ මහනගර සභාවට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශ 18න් වන අතර එම සංඛ්‍යාව 75ක්.

එමෙන්ම, මීගමුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 50 දෙනෙකු ද හමුවී ඇති අතර, ඔවුන් පිටිපන - ලෙල්ලම, මීගමුව - වැල්ලවීථිය , තලාදූව සහ කොච්චිකඩේ  ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට ගිය පුද්ගලයන් 320 කගේ පී සී ආර් පරීක්ෂණ පසුගියදා සිදුකර ඇති අතර, ඉන්  150 කගේ පමණ වාර්තා මේ වනවිට ලැබී ඇති අතර, එහි කොරෝනා ආසාදිත බවට තහවුරු වූ 50 දෙනාගෙන් 24 දෙනෙකුම වාර්තාවන්නේ පිටිපන - ලෙල්ලම ප්‍රදේශයෙන්.

මේ අතර, කොළඹ අපරාධ කොට්ඨාසයේ තවත් පොලිස් නිලධාරීන් 8 දෙනෙකු ආසාදිතයන් බවට හඳුනාගැනීමත් සමඟ එම කොට්ඨාසයෙන් වාර්තාවන මුළු ආසාදිත සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, මිරිහාන පොලීිසියේ කාන්තා කොස්තාපල්වරියන් 12 දෙනෙකු සහ උප පොලිස් පරීක්ෂකවරියක ඊයේ හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබෙනවා.

ඒ, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට ගොස් මසුන් රැගෙන ආ මිරිහාන පොලීසියේ භෝජනාගාරයේ කොරෝනා ආසාදිත නිලධාරියාගේ ආශ්‍රිතයන් වීම හේතුවෙන්.

ගාල්ල - මාගාල්ල ප්‍රදේශයේ පොල් කොහු ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන කර්මාන්තශාලාවකින්ද කොරෝනා ආසාදිතයන් හතරදෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

එම කර්මාන්තශාලාවේ සේවකයන් 292 කුගේ පී සී ආර් පරීක්ෂණ පසුගිය 28 වනදා සිදුකර ඇති අතර, ප්‍රතිඵල වාර්තා ලැබුණු 170 ක් අතරින් හතරදෙනෙකු මෙලෙස කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනගෙන ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය සඳහන් කළේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ද මේ දක්වා කොරෝනා රෝගීන් 33 දෙනෙකු වාර්තාවී ඇති අතර, ඉන් 25 දෙනෙකුම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලට සම්බන්ධ ආශ්‍රිතයන් බවයි දිස්ත්‍රික්  සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ඉනේෂ් ප්‍රතාපසිංහ සඳහන් කළේ.

මොවුන්ගේ ආශ්‍රිතයින් 1000 කට වැඩි පිරිසක් නිරෝධායනයට යොමුකර ඇති අතර, රිකිල්ලගස්කඩ රෝහලේ කාර්ය මණ්ඩලයද ඒ අතර වනවා.

මේ අතර, වැඩිම පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාවක් ඊයේ දිනයේ සිදුකළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.

ඊයේ දිනයේ පමණක් පී සී ආර් පරීක්ෂණ 12,106 ක් සිදුකර ඇති අතර, රට තුළ මේ දක්වා ලක්ෂ 5 ඉක්මවා පී සී ආර් පරීක්ෂණ පන්ලක්ෂ 2,669 ක් සිදුකර තිබෙනවා.

රෝගීන් හඳුනාගැනීම තවදුරටත් කඩිනම් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories