IDH රෝහලෙන් පලාගිය කාන්තාව සොයන්න බුද්ධි අංශත් කැඳවයි (වීඩියෝ)

Saturday, 21 November 2020 - 19:14

IDH+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිය කුඩා පුතුද රැගෙන පළාගිය කාන්තාව සොයා බුද්ධි අංශ යොදා විමර්ශනයක් සිදුකරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ ඇය සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් වෙතොත් පොලිස් මූලස්ථානයේ 0112 42 11 11 යන දුරකතන අංකයට හෝ පොලිස් හදිසි ඇමතුම් අංශයේ 0112 433 333 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙසයි.

මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු මේ වනවිට ස්වයං නිරෝධායනය වනවා.

ඒ, ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟයි.

එම සේවිකාව ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යාල සේවිකාවක් ලෙස කටයුතු කරන අතර, ඇය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා ආහාරපාන සැපයීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් මහ බැංකු අධිපති ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු 30 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා.

ශ්‍රී ලංකා මහ බැංකුව මේ සම්බන්ධයෙන් අද (21) නිවේදනයක් නිකුත් කළ අතර, එහි දැක්වෙන්නේ ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර, අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

අදාළ පරීක්ෂණ අනුව මහ බැංකු පරිශ්‍රය තුළින් වෙනත් කිසිදු ආසාදිතයෙකු හමු නොවූ බව එම නිවේදනයේ සඳහන්.

හදිසි අවස්ථාවකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා ‘හදිසි ක්‍රියාකාරී කාර්ය සාධක බලකායක්’ පිහිටුවා ඇති බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

මෙම තත්ත්වයන් යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අත්‍යවශ්‍ය සේවා සියල්ල කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යන බවයි ඔවුන් වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙන්නේ.

අද (21) දිනයේදී ආසාදිතයින් 319 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 13,590 දක්වා ඉහළ ගියා.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 5,873 දෙනෙකු පමණයි.

අද තවත් ආසාදිතයින් 257 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 19,537 ක්.

එසේම, බණ්ඩාරගම - අටලුගම ප්‍රදේශයේ අහඹු ලෙස සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

අදාළ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇත්තේ මිල්ලනිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක මීට පෙර සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් අටලුගම පදිංචි 04 දෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව තහවුරු වීමත් සමඟයි.

මේ අතර, හුදෙකලා කර ඇති කොළඹ - මෝදර ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු අද විරෝධතාවක නිරත වුණා.

මෝදර - අලුත්මාවත - ඉබ්බාවත්ත මංසන්ධියේ පැවති විරෝධාතාවයට එක්වූ ඔවුන් කියා සිටියේ ආහාරපාන සපයා ගැනීමේ ගැටළුවකට මුහුණ දී ඇති බවයි.

කෙසේ වෙතත්, පොලිසිය මැදිහත්ව ඔවුන්ගේ ගැටළුවට විසඳුමක් ලබාදෙන බවට පොරොන්දුවීමත් සමඟ පිරිස විසිර ගියා.

එසේම, ජින්තුපිටිය - 125 වත්තේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටින පවුල් කිහිපයකට මෙතෙක් කිසිදු සහනයක් හිමිව නොමැති බව එහි පදිංචිකාරිනියක් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.