නාපානේ මහානාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද

Sunday, 22 November 2020 - 8:51

%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%9D%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
අපවත් වී වදාල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව මහනුවර - කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගනයේදී අද පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ වෙනුවෙන් දිගන සහ කුණ්ඩසාලේ අවට විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මකයි.

බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගනය, මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගය අසල පිහිටා ඇති බැවින් කුණ්ඩසාලේ නත්රම්පොත 621 හන්දියෙන් සහ දිගන නගරයෙන් ආදාහන පූජෝත්සවය අවසන් වනතුරු වාහන ගමනාගමනය සීමා කෙරෙන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.  

මේ අතර රාමඤ්ඤ මහා නිකායේ නව මහානාහිමියන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් එහි කාරක සංඝ සභාව අද පෙරවරු 8.30 ට රැස්වීමට නියමිතයි.  

මේ අපවත්වී වදාළ රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමියන් වෙනුවෙන් හිරු ප්‍රවෘත්ති අංශය තබන සටහනක්.

“කන්ද උඩරට දුම්බර මිටියාවතේ නාපාන ග්‍රාමයේ 1923 වසරේ ජන්ම ලාබය ලද මහානාහිමියන්ගේ ගිහකල නාමය ඒකනායක මුදියන්සේලාගේ මහකුඹුරේ ගෙදර ටිකිරි බණ්ඩාරයි. 1933 ජුලි 8 වනදා හූරිකඩුව - උදුම්බරා රාමයේදී උන්වහන්සේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කැප වෙමින් සසුන් බිමට ඇතුළත් වුණා. සුප්‍රකට පිරිවෙන් කිහිපයකින් භික්ෂු අධ්‍යාපනය ලබා රාජකීය පණ්ඩිත උපාධිය සම්පූර්ණ කළ උන්වහන්සේ පිරිවෙන් ගුරු සේවය අරඹන්නේ කැටවල විද්‍යාලෝක පිරිවෙනෙන්. වසර 10 ක් පමණ එහි පරිවේණාධිපති ධුරය ද හෙබවූ නාපානේ පේමසිරි නාහිමියන් 1967 වසරේ හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙන ආරම්භ කර එය මෙරට බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළා.

තමන් නියෝජනය කළ රාමඤ්ඤ නිකායේ උන්නතිය වෙනුවෙන් කැප කිරීම් රැසක් කළ උන්වහන්සේ අනෙකුත් නිකායන්හි මහා සංඝරත්නය සමඟ ද නිරන්තර සහයෝගයෙන් කටයුතු කළ සංඝ පීතෘවරයෙක්. එනිසාවෙන්ම, රාමඤ්ඤ මහානිකායේ මහා සංඝ සභාව, සංඥා ලේඛකාධිකාරි තනතුර මෙන්ම, අධිකරණ සංඝ නායක පදවි ඇතුළු තනතුරු රැසක් අප නාහිමියන් හොබවනු ලැබුවා. නාපාන පේමසිරි නාහිමියන් රාමඤ්ඤ මහා නිකායේ උත්තරීතර මහානායක පදවියට පත් වන්නේ 2012 වසරේදීයි. විහාරස්ථාන රැසක් අභිනවයෙන් ආරම්භ කිරීමට කැප වී කටයුතු කළ උන්වහන්සේ ඒවා තම ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ සමඟ එක්ව උතුම් ශාසනික මෙහෙවර වෙනුවෙන් වෙන්කොට සසුනට පූජා කළා.

වසර 98 ක් ආයු වළඳා උන්වහන්සේ පසුගිය 17 වනදා පේරාදෙණිය රෝහලේදී සසුන් කෙතට සමුදෙන්නේ බුදුදහමේ චිරස්ථිතිය උදෙසා වදනින් කැටි කළ නොහැකි මහා මෙහෙවරක් ඉටු කරමින්. ”