රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහනාහිමියන් ලෙස අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන් පත් කෙරේ (වීඩියෝ)

Sunday, 22 November 2020 - 9:23

%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%91%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන් අපවත්වීමෙන් පුරප්පාඩු වූ රාමඤ්ඤ නිකායේ මහ නායක ධුරය සඳහා එහි අනුනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන් පත්කර තිබෙනවා.

ඒ, පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී අද උදෑසන පැවති එම නිකායේ කාරක සංඝ සභා රැස්වීමේදියි.

අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන් මීට පෙර රාමඤ්ඤ නිකායේ අධිකරණ නායක පදවිය හෙඹවූ අතර, ඊට පෙර සංඥා ලේඛකාධිකාරී පදවිය ද දරා තිබෙනවා. 1948 අගෝස්තු 25 වන දා ගල්ගමුව - මකුලෑව ග්‍රාමයේදී උපත ලැබූ උන්වහන්සේ පැවිදි දිවියට ඇතුළත් වුණේ  1960 මාර්තු 24 වන දායි. මිනිඔලුව - විද්‍යාවාස පිරිවෙන - 1967 වසරේදී ආරම්භ කළ අවස්ථාවේ එහි පළමු පැවිදි ශිෂ්‍යයා ලෙස මකුලෑවේ විමල හිමියන් එම පිරිවෙනට ඇතුළත් වුණා.

එහිදී ප්‍රාචීන - ප්‍රාරම්භ, මධ්‍යම යන විභාගවලින් සමත්වූ උන්වහන්සේ 1971 දී අනුරාධපුර - බුද්ධ ශාවක ධර්ම පීඨයට ඇතුළත්ව ශාස්ත්‍ර හා ත්‍රිපිටකය හදාරා 1976දී ත්‍රිපිටකවේදී උපාධිය ලබාගත්තා.

රාමඤ්ඤ නිකායේ 14 වන මහනායක පදවියට පත්වූ මකුලෑවේ විමල හිමියන් උපසම්පදාව ලබා ගත්තේ 1969 වසරේ ජූලි 22 වනදායි.

අපවත් වී වදාල රාමඤ්ඤ මහා නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මැණික්හින්න - හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙනට පැමිණි රාමඤ්ඤ මහා නිකායේ නව මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන් සඳහන් කළේ නිකායේ උන්නතිය සඳහා මෙන්ම අතීත උරුමයන් ආරක්ෂා කරගැනීම සඳහා කැපවන බවයි.


මේ අතර,  අපවත් වී වදාල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන්ගේ ශ්‍රී දේහය අද දහවල්, මැණික්හින්න - හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙනේ සිට ආදාහන පූජෝත්සවය පැවැත්වෙන මහනුවර - කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගනයට වැඩම කරවීමට නියමිතයි. ඉන් අනතුරුව පස්වරු 2 ට  රාජ්‍ය ගෞරව සහිතව ආදාහන පූජෝත්සවය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ආදාහන පූජෝත්සවය වෙනුවෙන් දිගන සහ කුණ්ඩසාලේ අවට විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මකයි.

බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගනය, මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගය අසල පිහිටා ඇති බැවින් කුණ්ඩසාලේ නත්රම්පොත 621 හන්දියෙන් සහ දිගන නගරයෙන් ආදාහන පූජෝත්සවය අවසන් වනතුරු වාහන ගමනාගමනය සීමා කෙරෙන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.