ඊයේ වැඩිම ආසාදිතයින් කොළඹින් - මහනුවරින් ආසාදිතයින් 27 දෙනෙකු හමුවේ

Monday, 23 November 2020 - 13:50

%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+27+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
පසුගිය දීපවාලි උත්සව සමයේ කොළඹ සිට නුවරඑළිය දිස්ත්‍රික්කයට ගිය පුද්ගලයන් රැසක් කොරෝනා ආසාදිතයන් ලෙස මේ වනවිට හඳුනාගෙන ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඊයේ දිනය තුළ පමණක් ආසාදිතයන් 17 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, එම සියලු ආසාදිතයන් කොළඹින් සංක්‍රමණය වූ ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

මේ දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති මුළු ආසාදිත සංඛ්‍යාව 89 ක්.

මහනුවර දිස්ත්‍රික්කයෙන්ද ඊයේ දිනයේ ආසාදිතයන් 27 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

මේ දක්වා කාලය තුළ එම දිස්ත්‍රික්කයෙන් දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිත සංඛ්‍යාව මෙය වීම ද විශේෂත්වයක්.    

මේ අතර, ඊයේ දිනයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයන් 400 දෙනා අතරින් 121 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ අතර, 112 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුර මේ වනවිට 16,639 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 13,580 ක්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත පොකුරෙන් වාර්තා වන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.  

මේ දක්වා මෙරටින් ආසාදිතයන් 20,171 ක් වාර්තාවී ඇති අතර, මරණ 87 ක් සිදුව තිබෙනවා.

මේ අතර කොරෝනා ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 22 හැවිරිදි තරුණයෙකු ඉන් පළා යාමට උත්සාහ දැරීමේදී රෝහලේ ආරක්ෂක අංශ නිලධාරීන් ඔහු සිය භාරයට ගෙන තිබෙනවා.

අදාළ තරුණයා දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙකු බව සඳහන්.

කොරෝනා ආසාදිතයෙකු රෝහල් ගත කිරීමට පැමිණෙන අවස්ථාවේදීම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු නම් ඒ පිළිබඳව පෙර දැනුවත් කිරීම් සිදු කිරීමෙන් ඔවුන් විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කිරීමෙන් මෙවැනි තත්ත්වයන් වළක්වා ගත හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.

අවිස්සාවේල්ල මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීනියට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

මේ හේතුවෙන් එම රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වසා දමා විෂබීජහරණයට ලක් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අදාළ වෛද්‍යවරිය කළුඅග්ගල - ඇගල මාර්ගයේ පදිංචිකාරිනියක් වන අතර, ඇගේ ස්වාමි පුරුෂයා වරාය සේවකයෙකු බව සඳහන්.

බදුල්ල - පස්සර - පුහුල්වත්ත සහ හණවැරැල්ල යන ප්‍රදේශවලින්ද ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මොවුන් කොළඹ ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතුවල නිරතව සිට පස්සර ප්‍රදේශයට පැමිණ ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

හබරාදූව - නිල පියස නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි වේල්ලවීථිය පොලීසියේ පොලිස් පරීක්ෂකවරයෙකුට සහ උප පොලිස් පරීක්ෂකවරයෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.  

කොළඹ - උතුර බ්ලූමැන්ඩල් පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ කාන්තා නිලධාරිනියන් තුන්දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි සඳහන් කළේ.   

කොරෝනා ආසාදිතයන් 14 දෙනෙකු වාර්තාවූ කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සිට දඹුල්ල තැපැල් කාර්යාලය වෙත තැපැල් මළු ප්‍රවාහනය කළ සේවකයෙකු ආසාදිතයෙකු බවට හඳුනාගැනීමත් සමඟ දඹුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවා කටයුතුද අද පෙරවරුවේ සිට තාවකාලිකව නවතා දැමුණා.

කෙසේ වෙතත් විෂබීජහරණ කටයුතුවලින් පසු තැපැල් කාර්යාලය යළි විවෘත කරන බවයි තැපැල් ස්ථානාධිපති සාගර කරුණාරත්න ප්‍රකාශ කළේ.

මේ අතර කොරෝනා ව්‍යාප්තියත් සමඟ හුදකලා තත්ත්වයට පත්කර තිබූ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ හයක් අද අලුයම පහේ සිට යළි විවෘත කරනු ලැබුවා.

ඒ, කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව, කොම්පඤ්ඤවීථිය සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇළ සහ කඩවත පොලිස් වසම්.

කෙසේ වෙතත් බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ කොම්පඤ්ඤ වීථියේ වෑකන්ද ග්‍රාමනිලධාරී වසම තවදුරටත් හුදකලා කෙරෙන බවයි පොලීසිය දැනුම් දුන්නේ.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම පොලිස් වසමේ බෝගහවත්ත, බමුණුමුල්ල, කිරිමන්තුඩාව, කොරාවල, අටළුගම - බටහිර සහ ගලගහමණ්ඩිය ග්‍රාම නිලධාරි වසම් ද තවදුරටත් හුදකලා තත්ත්වයට පත් කර තිබෙනවා.

හුදකලා කර ඇති බණ්ඩාරගම - අටළුගම ප්‍රදේශවල ජනතාව ඔරු සහ පාරු උපයෝගී කරගනිමින් කිරිමන්තුඩාව ප්‍රදේශයෙන් බොල්ගොඩ ගඟ හරහා වෙනත් ප්‍රදේශ වෙත සංක්‍රමණය වීම වැළැක්වීමට පොලිස් නාවික කොට්ඨාසයේ බෝට්ටු දෙකක් යෙදවීමට අද පියවර ගත්තා.

දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ දැනුම්දුන් පරිදි කාර්යාල දුම්රිය සේවාවන් අද විවිධ ප්‍රදේශවල සිට කොළඹ දක්වා පැමිණියද එහි මගීන් විශාල වශයෙන් පැමිණෙන අයුරු දක්නට ලැබුණේ නැහැ.

අධිවේගී මාර්ගයේ බස් රථ සේවකයන්ද ප්‍රකාශ කළේ මගී ජනතාවගේ පැමිණීම අවම මට්ටමක පැවති බවයි.

මේ අතර, සීමිත කාර්ය මණ්ඩලයක් යොදවා නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට සිට යළි විවෘත කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේ වෙතත්, එමගින් සේවා සැපයීම කලින් දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීම මත පමණක් සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.