ඊයේත් ආසාදිතයින් 473ක් - මියගිය ආසාදිතයන් 8දෙනාගේ තොරතුරුත් එළියට

Saturday, 28 November 2020 - 7:30

%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+473%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+8%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
නව කොරෝනා මරණ 8ක් ඊයේ දිනයේ වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 100 ඉක්මවා ගියා.

එය දැක්වෙන්නේ 107ක් ලෙසයි.

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි කාන්තාවක්, පසුගිය 23 වන දා නිවසේදී මිය ගොස් ඇති අතර, මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ ආඝාතය සහ කොරෝනා ආසාදනයත් සමඟ ඇති වූ හෘදයාබාධයක්.

එම ප්‍රදේශයේම පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද පසුගිය 25 වන දා මිය ගොස් තිබෙනවා.

මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ නිධන් ගත පෙනහළු රෝගයක් සහ ඇඳුම රෝගය  සමඟ උග්‍ර වූ කොරෝනා නිව්මෝනියා තත්ත්වයයි.

කොළඹ 9 - දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් ද ඊයේ මිය ගොස් තිබෙනවා.

මහරගම අපේක්ෂා රෝහලේ සිට කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී මෙම මරණය සිදුව තිබෙනවා.

පිළිකා රෝගය සමග උග්‍ර  වූ කොරෝනා නිව්මෝනියා තත්ත්වය මරණයට හේතුව ලෙස දක්වා ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මරදාන ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි කාන්තාවක් ද පසුගිය 25 වන දා නිවසේදී මිය ගියා.

මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ්19 ආසාදනය සමඟ ඇති වූ හෘදයාබාදයක්.

කොළඹ - 15 ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ සිට කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනා ගැනීමෙන් පසු අයි.ඩී.එච්. රෝහලට මාරු කර යැවුණු අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මිය ගියා.

මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ නිධන්ගත පෙනහලු රෝගයත් සමග කොරෝනා උග්‍රවීමයි.

කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද පෙරේදා නිවසේදී මිය ගොස් තිබෙනවා.

කොරෝනා සමග ඇති වූ හෘදයාබාදයක් මරණයට හේතුව ලෙස දක්වා ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

කොළඹ 10, මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවක් ද නිවසේදී පෙරේදා මිය ගියා.

දියවැඩියාව, නිධන්ගත වකුගඩු රෝගය සහ කොරෝනා ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයක් මරණයට හේතුව ලෙස දක්වා තිබෙනවා.

එමෙන්ම කොළඹ මැගසින් බන්ධනාගාරයේ රදවා සිටි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද බන්ධනාගාර රෝහලේදී පසුගිය 25 වන දා මිය ගියා.

කොරෝනා සමග උග්‍ර වූ වකුගඩු ආසාදනය මරණයට හේතුව ලෙස දක්වා තිබෙනවා.

ඊයේ දිනයේ නව ආසාදිතයින් 473ත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 22,501ක් දක්වා ඉහළ ගියා.

ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 472ක් පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් වන අතර එක් අයෙකු විදේශයන් හි සිට පැමිණි නැවියෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ කොවිඞ් පොකුර 18,963ක් දක්වා ඉහළ යනවා.

තවදුරටත් 6168 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 16,226ක්.