රටටම සුව පතන පාසල (වීඩියෝ)

Monday, 30 November 2020 - 17:34

%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7%E0%B6%B8+%E0%B7%83%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B6%AD%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කොවිඩ් 19 වසංගතය ලොවපුරා එදිනෙකා ක්‍රියාකාරකම්වලට සිදුකර ඇත්තේ සුලු පටු බලපෑමක් නොවේ.

මෙම වසංගතයෙන් ආරක්ෂාවීමට අප දැඩිව අනුගමනය කළයුතු පුරුදු මේ වනවිට එදිනෙදා ජීවිතයට බද්ධ වී අවසන්.

මේ ඒ හොඳ  පුරුදු අකුරටම පිළිපදින පුත්තලම - නාගමඩුව විදුහලයි.

මේ පුත්තලම අධ්‍යාපන කලාපයට අයත් නාගමඩුව විදුහලයි.

පුත්තලම  - වනාතවිල්ලුව - නාගමඩුව කණිෂ්ඨ විද්‍යාලයේ දරු දැරියන් අධ්‍යයන කටයුතු  ආරම්භ කිරීමට පෙර රතන සුත්‍රය සජ්ජායනා කරන්නේ දැනට ලොවපුරා ව්‍යාප්ත වී ඇති කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාවීමට සෙත් ප්‍රාර්ථනා කරමින්.

ආගම් භේදයකින් තොරව පාසලේ සිටින සියලු දරුවන් සහ ගුරු මණ්ඩලය නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සහ සමාජ දුරස්ථභාවය තබා ගනිමින් පන්සිල් සමාදම් වී මෙලෙස රතන සුත්‍රය සජ්ඣායනය කරනවා.

දරුවන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම උදෙසා මව්පියන් පිළියෙල කරන ලද ඉගුරු සහිත කොත්තමල්ලි පානයක් ද  සෑම දරුවෙකුටම ලබාදීම මොවුන්ගේ දින චර්යාවේ තවත් අංගයක්.  

නාගස්මඩුව කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනි එස්. සුභාෂනී නොනිස් මෙනවිය පෙන්වා දෙන්නේ මෙම වැඩපිළිවෙළ දරුවන්ට මානසික සුවයක් ගෙනදීමට ඉවහල් වන බවයි.  

පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන මෙම පාසල වයඹ පළාතේ අති දුෂ්කර පාසලක් බවට හඳුනා ගෙන ඇතත් එහි අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යයන කටයුතු ඉතා ඉහළ මට්ටමක පවතින බව මව්පියන් පවසනවා.

මෙම පාසලේ දරුවන්ගේ අහිංසක ඉල්ලීම වන්නේ කොවිඩ් වෛරසයෙන් තවදුරටත් ආරක්ෂාවීම සඳහා පාසලේ ප්‍රධාන දොරටුව අබියස විෂබීජහරණය සඳහා කුටියක් ස්ථාපිත කර දෙන ලෙසයි.