සුළි කුණාටුව දිවයිනට තවත් ලංවෙයි (වීඩියෝ)

Tuesday, 01 December 2020 - 19:43

%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%82%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29



ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් පවතින බැවින්, දිවයින පුරා වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් පවතින්නේ කිලෝමීටර් 460ක් දුරින් ස්ථානගතවයි.

ඉදිරි පැය 24 තුළ එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන අතර එය නැගෙනහිර වෙරළේ මඩකලපුව සහ පේදුරු තුඩුව අතරින් හෙට දිනයේදි මෙරටට ඇතුළු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙහි බලපෑම හේතුවෙන් නැගෙනහිර, උතුර, උතුරුමැද, වයඹ, මධ්‍යම සහ සබරගමු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර පැයට කිලෝමීටර් 80 ත් 90 ත් දක්වා තද ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකියි.

එමෙන්ම, සෙසු ප්‍රදේශවල මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි මෙන්ම එම ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60 ත් 70 ත් අතර ප්‍රහාරාත්මක තද සුළං ඇතිවිය හැකි බැවින් අවධානයෙන් පසුවන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

මෙරටට බලපා හැකි සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු වලින් වළකින ලෙසයි ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා දැනුම් දෙන්නේ.

එසේම, මෙම සුළි කුණාටු තත්ත්වයට මුහුණදීම සඳහා සියලු ආපදා අංශ සූදානම් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.

මේ අතර, සුළි කුණාටු තත්ත්වයක් ඉදිරි පැය 24 තුල නැගෙනහිර වෙරළ කලාපයට ඇතුළු වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළ ඇති මෙම නිවේදනයට අනුව නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට සිට ලබන සිකුරාදා දක්වා දින 3 ක් වසා තබන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ප්‍රකාශ කළා.

සුළි කුණාටුවක් ඇති වුවහොත් ඉන් පිඩාවට පත්වන ජනතාවට අවතැන් කඳවුරු ලෙස පාසල් භාවිතා කිරිමට සිදුවන බැවින් මෙම තීරණය ගත් බවයි ආණ්ඩුකාරවරිය සඳහන් කළේ.