බුරවී සුළි කුණාටුව,රාත්‍රී 7 ත් 10 ත් අතර දිවයිනට ඇතුලු වන ලකුණු (වීඩියෝ)

Wednesday, 02 December 2020 - 11:27

%E0%B6%B6%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%93+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%2C%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+7+%E0%B6%AD%E0%B7%8A+10+%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


බෙංගාල බොක්කේ වර්ධනය වූ බුරවී සුළි කුණාටුව අද පස්වරු 7 ත් 10 ත් අතර දිවයිනට ඇතුළුවේ යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 200 ක් නැගෙනහිරට බරව ගිනිකොන දෙසින් ස්ථාන ගතව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. 
 
එය ත්‍රිකුණාමලය සහ පේදුරු තුඩුව අතරින් මුලතිව් වලට ආසන්නයේ ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළින් දිවයිනට ඇතුළුවේයැයි විශ්වාස කෙරෙනවා.

එම පද්ධතිය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර හෙට උදෑසන වනවිට මන්නාරම් බොක්ක වෙත පැමිණෙනු ඇතැයි අපේක්ෂිතයි. මෙම සුළි කුණාටුව සමග පැයට කිලෝමීටර් 80 ත් 100 ත් අතර ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකියි.

එමෙන්ම, සබරගමුව, උතුර, උතුරුමැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ.

මෙම සුලි කුණාටුවෙන් වැඩි බලපෑමක් එල්ල විය හැකි බවට සැලකෙන ත්‍රිකුණාමල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ආපදා සහන මධ්‍යස්ථාන 236 ක් ස්ථාපිත කර තිබෙනවා.

මෙම සුළි කුණාටුවේ බලපෑම සමග මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක වැසි සහිත කාලගුණික තත්ත්වයක් දක්නට ලැබෙනවා.

ඇතිවිය හැකි සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල ජිවත් වන ජනතාව සඳහා තාවකාලිකව රැඳවුම් ස්ථාන සුදානම් කර ඇති බවයි යාපනය දිස්ත්‍රික් ලේකම් කේ.හේමසන් සඳහන් කළේ.

මේ වනවිට යාපනය දිස්ත්‍රික්කයේ ද වැසි සහිත කාලගුණික තත්ත්වයක් දක්නට ලැබෙන අතර, උතුරු ප්‍රදේශයේ ජනතාව ආපදාවට මුහුණදීම සඳහා සූදානම්ව සිටින බවයි හිරු වාර්තාකරු මාධව කුලසූරිය කියා සිටියේ.

මේ අතර, ඇති වන ඕනෑම ආපදා තත්ත්වයකදී මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානා සමග සහන සේවා කණ්ඩායම් සුදානම් කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශ කළා. ආපදා තත්ත්වයන් පිළිබද දැනුම්දීම සඳහා 117 විශේෂ දුරකථන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක අතර, සියලුම ආපදා සහන කණ්ඩායම් මේ වනවිට සූදානම් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

සුළි කුණාටු තත්ත්වයත් සමඟ ඇතිවිය හැකි ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ලේකම්වරුන්ට රුපියල් බිලියනයක මුදලක් රජය මේ වනවිට වෙන් කර ඇති බව විෂයභාර අමාත්‍ය චමල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.