ඉදිරි පැය 4 තුළ “බුරවී” සුළි කුණාටුව ශ්‍රී ලංකාවට (වීඩියෝ)

Wednesday, 02 December 2020 - 18:56

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+4+%E0%B6%AD%E0%B7%94%E0%B7%85++%E2%80%9C%E0%B6%B6%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E2%80%9D+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29





බුරවී සුළි කුණාටුව මේ වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් නැගෙනහිරට බරව ගිනිකොණ දෙසින් ස්ථානගතව පවතිනවා.

මෙම සුළි කුණාටුව ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව් වලට ආසන්නව ඊසාන දිග වෙරළින් රාත්‍රී 7 සහ 10 අතර කාලය තුළ ශ්‍රී ලංකාවට ඇතුළුවන බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන්නේ.

පැයට කිලෝමීටර් 80 ත් 90 ත් සහ විටින් විට පැයට කිලෝමීටර් 100 දක්වා මෙම සුළි කුණාටුවෙහි සුළගේ වේගය ඉහළ යා හැකි අතර, මෙම තත්ත්වය හේතුවෙන් උතුරු නැගෙනහිර, උතුරුමැද, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත් වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි.

 එමෙන්ම, වෙරළබඩ ප්‍රදේශයේ ද මුහුදුරළ ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

එසේම, මේ වනවිටත් බුරවී සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් නැගෙනහිර පළාත ඇතුලු දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇදහැලෙන බව හිරු වාර්තාකරු සඳහන් කළා.

මෙම සුළි කුණාටුවේ ප්‍රබලත්වය 1 යි දශම 5 ක් වන අතර, සුළි කුණාටු වර්ගීකරණය කිරීම යටතේ බුරවී සුළි කුණාටුව හතර වන ඝණයට අයත් වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ.

අද රාත්‍රියේ නැගෙනහිර වෙරළින් දිවයිනට ඇතුළු වේයැයි අපේක්ෂා කරන බුරවී සුළි කුණාටුවෙන් විදුලි පද්ධතියට සිදුවිය හැකි හානිය අවම කර ගැනීම සඳහා අතිරේක සේවක කණ්ඩායම් එම ප්‍රදේශය වෙත යොමුකර ඇති බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ හදිසි තත්ත්වයක් මතුවුවහොත් එම ප්‍රදේශවල ක්ෂණික විදුලි විසන්ධි කිරීමක් ද සිදුකරන බවයි.

සුළි කුණාටු තත්ත්වයත් සමග ඇතිවිය හැකි ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ රාජ්‍ය නිලධාරින් මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු සියලු අංශ මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර අවසන් බවයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න ප්‍රකාශ කළේ.

මේ අතර, අවදානමට ලක්විය හැකි උතුරු සහ නැගෙනහිර පළාත්වල වෙරළ ආශ්‍රිතව ජීවත් වන ජනතාව ආරක්ෂිත කඳවුරු වෙත යොමුකිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මෙම සුලි කුණාටුවෙන් වැඩි බලපෑමක් එල්ල විය හැකි බවට සැලකෙන ත්‍රිකුණාමල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ආපදා සහන මධ්‍යස්ථාන 236 ක් ස්ථාපිත කර ඇති බව සඳහන්.

එම ජනතාවට අවශ්‍ය පහසුකම් පිළිබඳව නිරන්තරයෙන් සොයා බලන ලෙසටයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

සහන සැලසිම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

බුරවි සුළි කුණාටුවට මුහුණදීම සඳහා නාවික හමුදාව විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ත්‍රිකුණාමලය වරායේ නැංගුරම්ලා තිබූ නාවික හමුදාවට අයත් නෞකා දෙකක් ආරක්ෂාව සඳහා හම්බන්තොට වරාය වෙත යොමුකළ බවයි.

එමෙන්ම, ඕනෑම ආපදා තත්ත්වයකදී ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානා සමග සහන සේවා කණ්ඩායම් සුදානම් කර ඇති බව ගුවන් හමුදාව ප්‍රකාශ කළා.

මේ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටියේ සුළි කුණාටුව දිවයිනට ඇතුළු විය හැකි බවට පැවසෙන එම කාලසීමාව තුළ එය නැරඹීමට සහ ජංගම දුරකථනයෙන් ඡායාරූප ගැනීමට උත්සාහ නොකරන ලෙසයි.

එමෙන්ම, අවදානම් සහිත නිවෙස්වල සිටින ජනතාව රජය විසින් ලබාදී ඇති ආරක්ෂක ස්ථාන වෙත කඩිනමින් යොමුවන ලෙස ද ඔහු ඉල්ලීමක් කළා.