කොරෝනා දෙවන රැල්ලේ මරණවලින් සියයට 47 ක් අවුරුදු 70 ඉක්මවූවන් (වීඩියෝ)

Friday, 04 December 2020 - 13:32

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+47+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+70+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


සියලු පාර්ශවයන්ගේ සහයෝගය ලැබුනහොත් කොරෝනා ව්‍යාප්තිය ඉදිරි සති කිහිපය තුළදී පාලනය කරගත හැකි බවට විශ්වාසය පළ කරන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද මේ බව කියා සිටියා.

මේ අතර, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් ඊයේ වාර්තා වූ ආසාදිතයින් 627 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ එම සංඛ්‍යාව 402 ක් බවයි.

ඒ අතර කොළඹ රිමාන්ඩ් සහ වැලිකඩ බන්ධනාගාරවලින් වාර්තා වන ආසාදිතයින් 104 දෙනෙකුද වනවා.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 66 දෙනෙකු සහ රත්නපුර ප්‍රදේශයෙන් ආසාදිතයින් 35 දෙනෙකු වාර්තා වී තිබුණා.

ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතර කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් 30 දෙනෙකුද වනවා.

මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 26,038 ක් වාර්තා වන අතර, ඉන් සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති සංඛ්‍යාව 19,032 ක්.

තවදුරටත් ආසාදිතයින් 6,877 දෙනෙකු පමණක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එසේම, කොරෝනා වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් අතරින් දහසක පමණ පිරිසක් සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

මේ අතර, බණ්ඩාරගම - අටලුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු රැගෙන යාම සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගැසීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන වීඩියෝ තාක්ෂණය ඔස්සේ පානදුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අටලුගම - බෝගහවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිත කරමින් ඇතුළු වූ පොලිස් නිලධාරියෙකු ඔහු අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව එම පුද්ගලයා අටලුගම - අලෝතියාව ප්‍රධාන පොලිස් මුරපොල වෙත රැගෙන එනු ලැබුවා.

ඉන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා හමුවට සැකකරු වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කර තිබුණේ.

එසේම, සෞඛ්‍ය අංශවලට සහයෝගය දක්වන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අටලුගම ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

මේ අතර, කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවකයින් දෙදෙනෙකුට සහ මුළුතැන්ගෙයි නිරීක්ෂිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ද තහවුරු වුණා.

කොරෝනා ආසාදිතයින් පිරිසක් පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බස් රථයක් සහ කාත්තන්කුඩි සිට පොලොන්නරුව බලා ධාවනය වූ බස් රථයක් වැලිකන්ද අසේලපුර ප්‍රදේශයේදී අද පෙරවරුවේ එකිනෙක ගැටී අනතුරට ලක්වුණා.

ආසාදිතයින් රැගත් බස් රථයේ පුද්ගලයින් 23 දෙනෙකු සිට ඇති අතර, දෙදෙනෙකුට සුළු තුවාල සිදුව තිබුණා.

ඔක්තෝම්බර් 04 වැනිදායින් පසු වාර්තා වූ කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් අතරින් 116 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අතරින් 47% ක් වන මරණ 55 ක් සටහන් වන්නේ වයස අවුරුදු 71 ට වැඩි පුද්ගලයින් කාණ්ඩයෙන්.

වයස අවුරුදු 61 ත්, 70 ත් අතර වයස කාණ්ඩයෙන් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 23 ක්. මරණ 18 ක් වයස අවුරුදු 51 ත්, 60 ත් අතර වයස් කාණ්ඩයෙන් වාර්තා වී තිබෙනවා.

වයස අවුරුදු 41 ත්, 50 ත් අතර වයස් කාණ්ඩයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 13 ක්. එසේම, මරණ 4 ක් වයස අවුරුදු 31 ත්, 40 ත් අතර වයස් කාණ්ඩයෙන් වාර්තා වන අතර, වයස අවුරුදු 10 ත්, 30 ත් අතර වයස් කාණ්ඩයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 03 ක්.