බ්‍රිතාන්‍යයේ නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිතයෙක් ශ්‍රී ලංකාවේ (වීඩියෝ)

Wednesday, 13 January 2021 - 10:59

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


බ්‍රිතාන්‍යයෙන් ප්‍රථම වරට හඳුනාගත් කොරෝනා වෛරසයේ විකෘති වූ නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු මෙරටින් හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ දිවයිනට පැමිණි බි්‍රතාන්‍ය ජාතිකයෙකුට මෙලෙස එම නව වෛරස ප්‍රභේදය ආසාදනය වී ඇති බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිලීකා මලවිගේ ඇතුළු පර්යේෂණ කණ්ඩායම සිදුකළ පර්යේෂණවලදී තහවුරු වී ඇති බවයි.

මේ අතර, ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 588 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 158 ක්. ඉන් 38 ක් වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වූයේ බියගම ප්‍රදේශයෙන් වන අතර, දොම්පේ ප්‍රදේශයේද කොරෝනා අවදානම ඉහළ ගොස් ඇති බවයි එහි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්.ඒ.බණ්ඩාර කියා සිටියේ.

ඊයේ දිනයේදී මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් 147 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබූ අතර, ඉන් 33 ක් වූ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කොල්ලුපිටියෙන්.

මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 43 දෙනෙකු ඊයේ වාර්තා වී තිබූ අතර, කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබූ ආසාදිතයින් සංඛ්‍යාව 41 ක්.

මේ අතර, මොණරාගල ප්‍රදේශයේ බැංකුවක සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ එම බැංකු ශාඛාව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඇයගේ ආශ්‍රිතයින් 40 කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායනයට යොමුකර ඇති බවයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.

මේ අතර, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද පෙරවරුවේ ආරම්භ කෙරුණා.

ඒ අනුව මේ වනවිට කාර්ය මණ්ඩලයේ සියයකට ආසන්න පිරිසකගෙන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම සිදුකෙරුණු අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද පැමිණ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සාම්පල ලබාදී තිබෙනවා.

අමාත්‍ය වාසුදේව නානායක්කාරට සහ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අනතුරුවයි මෙලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරෙන්නේ.

මේ අතර, බන්ධනාගාර ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් වාර්තා වීම මේ වනවිට පාලනය කිරීමට හැකියාව ලැබී ඇති බව බන්ධනාගාර කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ප්‍රකාශ කළා.

එමෙන්ම, බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා යළිත් අද දිනයේ සිට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන් සිදුකිරීම ආරම්භ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

මේ අතර තෛපොංගල් උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සමරන ලෙස සෞඛ්‍ය බලධාරීන් සහ හින්දු ආගමික පූජකයින් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා.